Saturday, August 5, 2017

පැරණි කොළඹ 1


එය ඉරිදා දිනයක උදෑසන විය. උදෑසනම මා වෙත ලැබුනේ තරමක් වෙනස් දුරකථන ඇමතුමකි. එය මාගේ මිත්‍ර සංචාරක මඟපෙන්වන වෘත්තියේ නියුතු අයෙකුගෙන් ලද ඇමතුමකි. එක්තරා අන්දමක ඉල්ලීමක් වූ එම ඇමතුම මා වික්ෂිප්ත කරලීමට සමත්විය.

මිතුරා -  මචං, එංගලන්තෙ ඉදන් පොරක් එනවා ලංකාවට.
මම - ඉතිං...
මිතුරා -  එයාට ඕන කොළඹ බලන්න.
මම - කොළඹ ??? කොළඹ මොනා බලන්නද?
මිතුරා - කොළඹ අවට හැම දෙයක්ම, මෑන් අපිට වඩා කොළඹ ගැන දන්නවා. මේ වැඬේ මට කරන්න අමාරුයි
         ප්ලීස් මචං, මං වෙනුවට ඒ මෑන්ට කොළඹ පෙන්නපන්.
මම - කවද්ද මෑන් එන්නෙ.
මිතුරා - හෙට උදේ, 8 15 ට. කටුනායක.

මිතුරා සමඟ නිතර රට තොට ඇවිදින්නට යාමෙන් සංචාරක ස්ථාන පිළිබඳ අල්ප දැනුමක් මා ලබා තිබේ. නමුත් කොළඹ!  කොළඹ පිළිබඳ මගේ දැනුම මිතුරාටත් වඩා අල්පය, හෙට උදෑසන වනතෙක් වේලාව තිබේ. මම මගේ පරිගනකය අතට ගෙන කොළඹ(Colombo) යනුවෙන් type කළෙමි.

කොළඹට නම හැඳුන හැටි

කොළඹ

මේ නම පිටුපස ඇත්තේ මොනවාද? සැබවින්ම කොළඹට නම සැදුණු අයුරු සොයා බැලිය යුතු යැයි මට සිතිණි.

කොළඹට නම ලැබුණු අයුරු පිළිබඳ මතිමතාන්තර කිහිපයකි. කොළඹ අවට යෝනකයන් පදිංචි වී සිටිය නිසා කොළොන්තොට නම් ලැබූ බව එක් මතයකි. චීන සංචාරකයන් ඊට කාඕ-ලං පූ යනුවෙන් වහරා ඇති අතර මොරොක්කෝ ජාතිකයින් ගේ මුවින් එය කාලෙන්බෝ නමට හැරිණි.
එහෙත් පෘතුගීසින් මීට කලම්බු යන නම් තැබූහ. ඒ නම ඔවුන්ගේ සිතියම් වල සටහන් වී තිබේ. ඊලඟ පරම්පරාවේ උදවියද එයට කලම්බු යැයි හංවඩු ගැසූහ. පසුකකාලීනව එය සිංහලෙන් කොළඹ යැයි වහරන්නට පුරුදු වී තිබේ.

එහෙත් සිංහලයන් නිකම්ම පිටරැටියන්ගේ වචනයකට හුරු උනාද? එනිසා මීට වෙනස් මතයන්ද සලකා බැලිය යුතුව තිබේ. එයට උදව්වක් රොබට් නොක්ස් ගේ කොළඹ පිළිබඳ වර්ණනාවකින් සපයා ගතහැකි විය.

“ කොළඹ නගරය බටහිර දිග් භාගයේ ස්වදේශිකයින් අඹගස නමින් හඳුන්වන ගසක් තිබේ. අඹ ගසේ සාමාන්‍යයෙන් අඹ පල හට ගැනුනත්, මේ අඹ ගසේ ඇත්තේ තොළ පමණක් නිසා ගස කොළ අඹගස නමින් හැඳින්වූ අතර ක්‍රිස්තියානීන් කොලම්බස්ට ගෞරව කරනු වස් ඒ වෙනුවට කොලම්බු යන්න යොදාගෙන ඇත”

මේ කොළ අඹ ගසේ කතාව බැහැර කළ හැක්කක් නොවේ. ලංදේසීන්ගේ නගර ලාංඡනයේද ඇත්තේ අඹ ගසක් හා පරෙවියෙකුගේ රුවයි. එබැවින් කොළඹ ගසේ කතාව ප්‍රවාදයක් යැයි නොසිතේ.
සාන්ත ලෝරන්ස්ගේ තුඩුවට සමීපව පරම්පරා ගණනාවක් පුරා කොළ පමණක් හට ගන්නා සරුවට වැඩුණු අඹ ගසක් පැවත ඇත. කරුණු එසේනම් ගසකින් උපන් නමක්ද මේ කොළඹ නම.