Sunday, July 2, 2017

එක අතක හඬ - සෙන් බොදු කතාවක්


කෙන්නින් ආරාමයේ ප්‍රධාන ගුරුතුමාගේ නම මොකුරායි. එහි අරුත “නිහඬ හෙණය” යන්නයි. ඔහු ළඟ පුංචි ඇබිත්තයෙක් හිටියා. නම ටෝයෝ. ඔහු තාමත් දොළොස් හැවිරිදි වියේයි පසුවුණේ. ටෝයෝ දැක්කා වැඩිමහල් ගෝලයෝ හැමදාම උදේට හා හවසට ගුරුතුමාගේ කාමරයට යනවා. ඔවුන් එසේ ගියේ සාන්සෙන් ධර්මය අහන්න, එහෙමත් නැත්තම් පුද්ගලික උපදෙසක් හෝ සිත අයාලේ යන එක නවත්තන්න අවශ්‍ය කොආන් උපදෙසක් හෙවත් කමටහනක් ලබාගන්න.

ටෝයෝටත් ඕනෑ වුණා සාන්සෙන් කරන්න.
“ටිකක් ඉවසන්න, ඔබ තවම ලාබාල වැඩියි” මොකුරායි කීවා.

ඒත් ටෝයෝ ඒක පිළිගත්තේ නෑ. අන්තිමෙදී ගුරුතුමා ඊට ඉඩ දුන්නා.

හැන්දෑවේ පුංචි ටෝයෝ හරියට නියමිත වෙලාවට මොකුරායි තුමාගේ සාන්සෙන් කාමරය අසලට ගියා. ඔහු තමා පැමිණි බව දන්වන්න ඒ ඉදිරිපිට ඇති භිරිකාව නාද කළා. දොරට පිටින් සිට නැවී තුන් වරක් ආචාර කළා. ඉන්පසු ගුරුතුමා ඉදිරියට ගොස් වැඳ එකත්පස්ව හිඳ ගත්තා. ඔහු නිහඬව ගෞරව දක්වනු ගුරුතුමා බලා සිටයා.

“ඔබට අත්පොළසන් දෙනවිට අත් දෙකකින් නැඟෙන හඬ අහන්න පුළුවන්” මොකුරායි තුමා කීවා. “දැන් මට පෙන්වන්න එක් අතකින් නඟන හඬ”

ටෝයෝ හිස නවා ආචාර කර ඒ ගැන හිතන්න සිය කාමරයට ගියා. ඔහුට කාමරයේ ජනේලයෙන් ගෙයිෂාවන්ගේ සංගීතය ඇසුණා. “මට ඇහුණා, ඒ හඬ මට ඇහුණා” ඔහු තමාටම කියා ගත්තා.

පසුවදා හැන්දෑවේ ඔහු ගුරුතුමා බැහැදැකීමට ගියා. එක අතකින් නැඟෙන හඬ පෙන්වන්න යයි ගුරුතුමා කීවා.

ඔහු ගෙයිෂාවන් වාදනය කළ සංගීතය වාදනය කරන්න පටන් ගත්තා.

“නෑ, නෑ” මොකුරායි තුමා එය අතින් නවත්වමින් කීවා. “ඒක වෙන්න බෑ කවදාවත්, එක අතකින් නඟන හඬ ඔබ එය හරියට කළේ නෑ”

ඒ සංගීතය තමන්ගේ සිතුවිල්ලට බාධා කළා කියා සිතූ ටෝයෝ වෙනත් නිසල නිහඬ තැනකට ගිහින් යළිත් භාවනා කරන්න පටන් ගත්තා. “එක් අතකින් නඟන හඬ කුමක් විය යුතුද? ” ඔහු කල්පනා කළා. ඔහුට එකපාරටම ඇහුණා වතුර බිංදුවක් වැටෙන හඬක.් “මට හමු වුණා” ඔහු තමාටම කියා ගත්තා.

ඊලඟ අවස්ථාවේ ඔහු ගුරුතුමා ලඟ පෙනී සිට වතුර බින්දුවක් වැටෙන හඬ අභිනයෙන් පෙන්වුවා.

“ඒ මොකක්ද” ගුරුතුමා ප්‍රශ්න කළා. “ඒ වතුර වැටෙන හඬ නේද, ඒත් ඒකත් නෙවෙයි එක අතකින් නැගෙන හඬ, තව හොයන්න” ගුරුතුමා කීවා.

එක් අතකින් නැගෙන හඬ ඇසෙන තෙක් ටෝයෝ හුඟාක් වෙහෙස වී භාවනා කළා.
ඔහුට සුළඟේ හඬ ඇසුණා. එය ප්‍රතික්ෂේප වුණා.

බස්සෙකු කෑ ගසන හඬ ඇසුනා. එයද ප්‍රතික්ෂේප වුණා.

එසේම එක් අතකින් නැගෙන හඬ පතංගයන් නඟන හඬත් නොවන බව ගුරුතුමා කීවා.

ටෝයෝ දස වතාවකටත් වැඩිය එක එක හඬ සමඟ මොකුරායි ගුරුතුමා ලඟට ගියා. ඒත් ඒ එකකින්වත් පලක් වුණේ නෑ. ඒ හැම එකක්ම වැරදි බව ගුරුතුමා කීවා.

අවුරුද්දකටත් වැඩි කාලයක් තිස්සේ මේ එක් අතකින් නැගෙන හඬ මොකක්දැයි සොයන්නට ටෝයෝ වෙහෙසුණා.
අන්තිමේදී ටෝයෝ ඉතා හොඳින්ම භාවනාවේ යෙදෙන්න පටන් ගත්තා.

භාවනාවේ උච්චම අවස්ථාවට පිවිසුණ පසු ඔහුට හැම ශබ්දයක්ම ඇහෙන්න පටන් ගත්තා “තවත් ශබ්ද ඉතිරිව නෑ මට අසන්නට ඔහු පසුව පැහැදිලි කළා“

ඊළඟට මම එළඹුනේ ‘නිශ්ශබ්දතාවේ ශබ්දයටයි’ එනම් නිහඬ හඬටයි.
ටෝයෝ ‘එක අතකින් නැගෙන හඬ’ හඳුනා ගත්තා.

(ෆර්සි ජයමාන්නගේ සෙන් බොදු කතා නම් ග්‍රන්ථයෙනි)


No comments: