Friday, April 7, 2017

ජන ජීවිතය හා බැදුණු අංක විද්‍යාව



ජනශ‍්‍රැතියේ අක්මුල් සොයා යන විට සුභාසුබ සංකල්පයන් හමුවේ. එවායින් යහපත හා බැඳුණු සුභ යැයි සැලකෙන සංකල්පයන් බුදුගුණ හා මංගල ලක්ෂණ සමඟ සබැඳේ. අප ඒවා මඟුල් ලකුණු යැයි ද හඳුන්වමු. සුභ අසුබ යන්න අයහපත, විපත හා යහපත මුල් කරගනිමින් බල පවත්තවයි. අංකයට, ගණිතයට නැතහොත් සංඛ්‍යා වලට සුභාසුබ ලක්ෂණ ගැබ්කිරීම පැරැුන්නන්ගේ සිරිත විය. එහි කිසියම් විද්‍යාත්මක සත්‍යයක් පවතිනාවා ද යන්න නිශ්චිත නොවෙතත්, විශ්වාසය පදනම් කරගත් චාරිත‍්‍ර වාරිත‍්‍ර විධික‍්‍රමයන් ඒ ඇසුරේ ගොඩනැගී ඇත. ඔත්තේ සංඛ්‍යා පිළිබඳව ජන වහරේ එන ඇතැම් තොරතුරු අසුබයට නෑකම් කියයි. මළගෙවල් පිළිබඳ දැනුම් දීමට තිදෙනෙකු පමණක් එක්වයාම යහපත් නොවේ යැයි පැවසීම එවැන්නකි. අතීතයේ පමණක් නොව වර්තමානයේදී ද එවැනි විශ්වාසයන් පවතී. සුපිරි හෝටල් සංකීර්ණවල පවා 13 අංකය දරන කාමරයට කිසිවෙකු ඇතුලත් වීමට පි‍්‍රය නොකරන්නේ එබැවිනි.නිවසක ජනෙල් උලූහවු තැබීමේදී පවා ඔත්තේ සහ ඉරට්ටේ සංඛ්‍යා පිළිබඳව සැලකිලිමත් වෙයි. සංඛ්‍යා ඇසුරේ සැකසුණ සංකල්ප පිළිබඳ අධ්‍යයනයක නියැලීමට මට සිත්විය. ආගම හා අභිචාර ඇසුරේ ගොඩනැගුණු ඒවා විචිත‍්‍රය, අර්ථවත්ය. කුහුල වඩවන සුළුය.


        තුන්කල් යනුවෙන් හැඳින්වෙන්නේ අතීත, අනාගත සහ වර්තමාන කාලයයි. තුන්කල් ලොව දකින්නානම් අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේය. තුම්බිය නම් බුදුරදුන් වැඩසිටි සමයෙහි විශාලා මහනුවර ඇති වූ ව්‍යසනය ය. තුම්බියට රෝග බිය, දුර්භීක්ෂ බිය, ශසත‍්‍ර බිය අයත්ය. දහඅට සන්නියේ එන කතා පුවතට අනුව මහාකෝළ යක්ෂයා විශාලාවේ තුන්බිය පැතිරවීමට හේතු කාරකයයි. කෙසේ වෙතත් බුදුරජානන් වහන්සේ විසින් රතන සූත‍්‍රය දේශනා කිරීමට සලස්වා විශාලාවේ තුම් බිය දුරකර හරිනු ලැබූ බව එම පුවතෙහි මෙන්ම සූත‍්‍ර පිටකයේද සඳහන්ය. තුන්යම නම් ප‍්‍රථම, මධ්‍යම හා පශ්චිම යාමය යැයි ති‍්‍රපිටකයේ සඳහන්ය. යාග මඬලේදී සමයම් යනුවෙන් එය අර්ථ ගන්වයි. සැන්දෑ සමයම, අලූයම් සමයම, ඉරමුදුන් සමයම යනුවෙන් එය ති‍්‍රවිධාකාර වෙති. සමයම් යනු යකුන්ගේ ඇල්ම බැල්මට හසුවිය හැකි හෝරාවන්ය.


         තුන්රට යනු පුරාණයේ ලක්දිව බෙදී තිබුණ පාලන ප‍්‍රදේශයන්ය. රුහුණු රට, මායා රට හා පිහිටි රට එම ත‍්‍රිත්වයයි. තුන් සරණය නම් නිරන්තරයෙන් තුන් සිත පහදවා ඇදහිය යුතු මංගල ලකුණකි. එය තිසරණ සරණ යනුවෙන් ද හඳුන්වයි. බුදුසරණ, දම් සරණ හා සඟ සරණ තුන් සරණ යනුවෙන් හඳුන්වයි. තුන් සිත පිළිබඳ අසා තිබුණ මුත් බහුතරයක් නොහඳුනයි. තුන් සිත පතපොතෙහි හඳුන්වන්නේ යම් කි‍්‍රයාවක් ආරම්භ කිරීමට පෙර සිත, යම් කි‍්‍රයාවක් සිදුකරන අතරවාරයේ පවත්නා සිත, කි‍්‍රයාව අවසන් කළ විට පවතින සිත යනුවෙනි. තුන් සිත දැහැන්ගත වන්නේ සිත තැන්පත් කරගැනීමෙනි.


      චතුර් හෙවත් සතර අංකයද බෞද්ධ සාහිත්‍යයේදී බහුලව හමුවේ. සිව්බඹ විහරණ, සිව් වනක් පිරිස, සතර මහා භූතයෝ මෙන්ම උතුම් වූ චතුරාර්්‍යය සත්‍යද ඒ අතරින් කිහිපයකි. සතර යන සංඛාත්මක අගය ජනශ‍්‍රැතිය හා බැඳෙන්නේ ඊට ඉදුරාම වෙනස් ආකාරයකිනි. පුරාණ රාජාණ්ඩු පැවති කාලයේදී රජුගේ වීර වික‍්‍රමාන්විත බවත් සශ්‍රීක බවත් විදහා පෑවේ චතුරඬඟණී සේනාව මඟිනි. රජුට පෙර ගමන් යන මංගල දර්ශනයක් ලෙසින් එය සළකන ලදී. ඇත්, අස්, රිය හා පාබල සේනාව එනමින් හඳුන්වයි. කුරුඳු පොතු, එනසාල්, තමලූ හා නාමල් රේණු යන රසකාරක ද්‍රව්‍යයෝ හඳුන්වන ලද්දේ චතුර්ජාත යනුවෙනි. දෙවියන් බඹුන් ආදී පූජාකටයුතු පුද්ගලයන් සඳහා පමණක් පහත සඳහන් චතුර්ගණ්ධ පූජාවිධි වලදී යොදාගනු ලබයි. එනම් හඳුන්, කපුරු, කොකුම්, තුවරලා යනාදී සුගන්ධයෝය. නමුත් යාගයකදී යකුන් ආදී අමුනුෂ්‍යය සමූහයා පුදනු වස් යොදා ගන්නේ මීට වෙනස් සුවඳ වර්ගයන්ය. ඒවායේ සුභාර්ථයන්ට වඩා ගුප්ත බවක් එක් වෙයි.


        අංක අතර වඩාත් සුභ අංකයක් ලෙස අංක හත විශ්වාසයේ පවතී. ළදරුවෙකු උපන්විට හා ඔහු කෙමෙන් වැඩිවියට පත් වනවිට සත්මඟුල් උත්සවයන් පවත්වයි. තුන්මස උත්සව, පස්මස උත්සවය, හත්මස උත්සව, නම් තැබීම, ඉඳුල්කටගෑම, කන්විදීම, ඉසකේ කැපීම යනුවෙන් ඒවා ජනවහරේ එයි. ශාන්තිකර්මයන්හිදී නිරන්තරයෙන් හත සංඛ්‍යාවට මුල් තැනක් ලැබෙයි. හත්පද පෙළපාලිය උඩරට, පහතරට, සබරගමු සම්ප‍්‍රදායන්ගේ ශාන්තිකර්ම වලදී යම් යම් වෙනස්කම් සහිතව සිදුකරයි. හත පදය නැටීමේදී පොල් ගෙඩිය, බුලත අත, කොතළය, සළුව, දුම්මල, පොල්මල් ආදි මංගල වස්තු යොදාගනී. සත්මුතු පරම්පරාව යන්න ජනවහරේ නිරන්තරව භාවිතා වේ. මුත්තා, මී මුත්තා, නත්තා, පනත්තා කිත්තා, කිරිකිත්තා, කිරිකෑමුත්තා හත්මුතු පරම්පරාවයි. පරපුරකට යමක් උරුම වෙයිද එය හත්මුතු පරම්පරාවටම බුක්ති විඳිය හැකිය. කීර්තිය යසස ද එපරිදිය. පරපුරකට යමක් අහිමිවීමද ඒහා සම සමය. සප්ත රත්න යනු සුභ ප‍්‍රතිඵල ලබා දෙන්නා වූ උතුම් මංගල වස්තුවකි. ඇතැම් තැනක ඒවා නවරත්න යනුවෙන්ද හඳුන්වයි. ධාතුගර්භ ඉදිකිරීමේදී සප්ත රත්න ඒවායේ නිධන් වස්තු ලෙස තැම්පත් කරයි. වර්තමානයේදීද අලූතින් නිවසක් සෑදීමේදී සප්ත රත්න කැබලි මංජුසාවක බහා නිදන් කරනු ලැබේ. සප්ත රත්න නම් රන්, රිදී, වීදුරු, මුතු, මැණික්, වෙරළුමිණි හා පබළු යනාදියයි.


      අංක අට යන්නද සර්වසුභ අංකයක් ලෙස සළකයි. පසළොස්වක පොහොය කර්මයන්හිදී ගිහියෝ අට සිල් සමාදන් වෙති. නිර්වානගාමී මාර්ගයද අංග අටකින් යුක්තය. රාජ්‍යයකට අවශම අංග අටක් වෙයි. ඒවා අට අඟ ලෙස හඳුන්වයි. රාජ, අමාත්‍යය, මිත‍්‍ර, කෙෂඨ, ජනපද, දුගී, බල, පුරවැසි යනු ඒවායි. මේ අංගයන්ගෙන් එක් අංගයක් හෝ අඩු නම් එය සවිසත් රාජ්‍යයක් ලෙස නොසලකයි. අටකොන යනු අෂ්ට දිශාවන්ය. ඉඳුරු දිශාව, ගිනිකොණ, යම දිශාව, නිරිත, වරුණ, වයඹ, සොමි, ඉසාන යනු එම දිශා අටයි. ඒ ඒ දිශාවට අයත් දිශාවන් රක්නා දෙවිවරුද අට දෙනෙකි. ඔවුන් අටදිග්පාල යනුවෙන් හඳුන්වයි. ඒ ඒ දෙවියාට අයත් විමානයක්( වෘක්ෂයක්), වාහනයක්, ආයුධයක් ආදිය වෙයි. අට මඟුල් හෙවත් අෂ්ට මංගල වස්තු සුභ කටයුතු වලදී නිරතුරුව භාවිත කරයි. සිංහ, වෘෂභ, හස්ති, පුන්කළස, වාලවපන්න, ධවජ, ශංක, ප‍්‍රදීප අශ්ට මංගල වස්තු අතර වේ. අටමඟල යන්ත‍්‍රය ඇදීමේදී මේ සංකේත අඳිනු ලබයි.
        
පැරැුන්නන්ගේ විශ්වාසය වූයේ ලෝකය තැටියක් මෙන් පැතලි ආකාරයෙන් තිබූ බවයි. ලෝකය ගෝලාකාරයයි විශ්වාස නොකළ එසමයෙහි මහා විශාල ඇතුන් අට දෙනෙකු විසින් මහ පොළව උසුලාගෙන සිටින බව විශ්වාසය විය. එම ඇතුන් අට දිගැත් ලෙස හඳුන්වන ලදී. වේරාවත, පුණුඩරීක, වාමන, කුමුද, අකන්න, පුෂ්පදන්ත, සාමභෞම, සුපතීක යනුවෙන් එම ඇතුන් අට දෙනා හඳුන්වන ලදී. මහ පොළොව මත සිදුවන විවිධ විපර්යාසයන් කැළඹිලි, කම්පා ආදියට හේතුව නම් අසුරයන් විසින් මෙම ඇතුන් තිදෙනාට පමුණුවන විපත් යැයි එකළ සැලකිණි.

      අංකය පිළිබඳ විශ්වාසයන් පෙරදිගට පමණක් සීමා නොවේ.  බටහිර රටවලද තමා උපන් වර්ෂය, උපන් දිනය ආදී අංක හා බැඳුණු සුභ හා අසුබ පිළිබඳ විශ්වාසයන් පවතී. තමාට හිමි අංකය තුළින් එක් එක් පුද්ගලයාගේ අභ්‍යන්තර ගුණාංග හා ගතිලක්ෂණ විද්‍යාමාන වන බව විද්වත් මතයයි. ජය අංකය යනුවෙන්ද ව්‍යවහාරයට පැමිණෙන්නේ එයමය. ගුප්ත විද්‍යාත්මක ලක්ෂණ වල සත්‍යය අසත්‍යතාව පිළිබඳ වාද විවාදයන් නිරන්තරයෙන් පවතී. නවීන විද්‍යාව හමුවේ ඇතැම් ලක්ෂණ අභියෝගයට ලක් වුවද තවමත් බටහිර රටවල මේවා පිළිබඳ පර්යේෂණ සහ අධ්‍යයනය වල නිරතවන්නෝ බොහෝ වෙති.





සුභාෂිණී පෙරේරා



No comments: