නිර්මාණකරුවෙකු ස්වකීය චිත්ත සන්තානය තුළ ඇතිවන භාවවේශයන් තම නිර්මාණකාර්ය සඳහා යොදාගන්නේ වඩාත් සියුම් ආකාරයෙනි. සහෘද හදවත් ඇත්තෝ එය විඳගන්නේ ද නිර්මාණකරුවාගේ දෘෂ්ටියට වඩ වඩාත් සමීපවීමට උත්සහ දරමිනි. එසේ ඒකාත්මික නොවූ තැන්හි දී නිර්මාණයක සැබෑ රසය විඳගත නොහේ. එය වඩාත් සපථ වන්නේ රසිකයන්ගේ නන්විධ මිනුම්දඬු උපයෝගයෙන් නිර්මාණයක අංග උපාංග ගලවා බලනවිට ය. විරෝධාකල්ප ගී සම්බන්ධයෙන් ද කිවයුත්තේ එයමය.
පද රචකයාට නිරන්තරයෙන් වස්තුවිෂය වන්නේ තම සමාජයයි. ඔහු විසින් තමා විඳගන්නාවූ භාව, ආවේග, චේතනා, ශෝකාලාපාදිය මෘදු හෝ රඵ ගුණයක් බවට පත් කොට ඉදිරිපත් කරනු ලබයි. එක් අයෙක්ගේ වේදනාව, ආත්මීය ප‍්‍රකාශනය තවත් අයෙකුට විරෝධාකල්පයක් ලෙස පෙනීයාමට පුඵවන. එවන් ආත්මීය ප‍්‍රකාශන හා සමාජ විවරණ රැුගත් ගීත බහුතරයක් විරෝධාකල්ප යැයි ලේබල් කර ඇති බවට පද රචකයෝ සුසුම් ලති. එබැවින් ගීතයක රස නියමාකාරයෙන් විඳගැනීමට නම් රචකයාගේ අනුභූතිය සමඟ ඒකාත්මික වීම කළ යුතුය. එවිට සමස්ථ සමාජය හෝ එක්තරා කොටසක් පමණක් නොව, මුළු මහත් මනුෂ්‍ය වර්ගයාගේම ආධ්‍යාත්මය ඉන් විරෝධයට ලක්වන බව පෙනී යයි.
මෙහිදී මා වස්තුවිෂය කරගනු ලබන්නේ ද විරෝධාකල්ප ගීයක් ලෙස හඳුන්වනු ලැබූූ, ලාංකාවේ වාර්ගික යුධ සමය පැවති වකවානුවේ නිර්මාණය වූ ගීතයකි. ගේය පදරචක රත්න ශ්‍රී විජේසිංහයන්ගේ අපුර්ව පද සංකල්පනාවට ස්වර මුසුව සිදුකලේ මාස්ටර් නමින් අප හඳුනන ප්‍රේ‍්‍රමසිරි කේමදාසය ශූරීන්ය. ගීතයේ ශෝකාලාපී ස්වර මුසුවට උචිත හඬ මුසුකරන්නේ විශාරද රශ්මි සංගීතා විසිනි. ගීතය එළි දකින්නේ 1994 වර්ශයේ නිරවි සිහිනය නම් කැසට් පටයෙනි. ගීතයේ පද සංකල්පනාවත්, සංගීතයත්, ගායනයත් යන ත‍්‍රිත්වයම මනා භාවපූර්ණ ගුණයකින් යුක්තය.
මන්නාරම් කන්‍යාරාමේ ඇරිලා
වැලි පාරේ මං ආවා
පේසාලෙයි හන්දිය ලඟ
කනේරු මල් ගහ පාමුල
ඔබ පරවී වැටිලා
පපුවෙන් ලේ ගැලූවා
ඔබ නැතිව ගියේ මටමයි
මේ රටට නොවෙයි
මහපොළවට මිස මිනිස් කමට
පෙම් නොකරන රටට නොවෙයි
නැඟිටින්න එපා... නැගිට කොහේ යන්නද අපි
ඉතින් කෝවලන්... ඉතින් කෝවලන්...
ගිනි ලන්න රටක් නෑ
රට ගිනිගෙන ඉවරයි
මේ සොහොන් බිමේ දිනෙන් දින
පස්කඳු වැඩිවෙයි
නැගිටින්න එපා... නැගිට කොහේ යන්නද අපි
ඉතින් කෝවලන්... ඉතින් කෝවලන්...
මන්නාරම් කන්‍යාරාමේ ඇරිලා........
රචකයා මෙම ගීතයෙන් අප ඉදිරියේ මවන්නේ මනස්කාන්ත පරිසරයක් නොවේ. ගීතයේ පළමු පද පෙළ අසනවිටම පේ‍්‍රක්ෂක චිත්ත සන්තානයේ වියළි, කර්කශ වැලි පොළොවක් සිතුවම් වේ. කරවුන සුලඟ, දහදිය ගලන අවුරශ්මිය රචකයා විසින් පදරචනයට නොනැගුවද මන්නාරම් පොළොව අත්විද ඇති අයෙකුට නම් එය නිතැතින් මතකයට නැගෙනු ඇත. කන්‍යාරාමය ඇරී නික්මෙන යුවතිය එන්නේ මෙවන් වැලි පාරක ය. පපුුවේ වෙඩි කෑ තරුණයකු ඇගෙන් ගිලිහී යයි. වයලීනය සමඟ මුසුවන රශ්මි සංගීතාගේ හඬින් මැවෙන්නේද ශෝකී ස්වරයකි. ඇගේ ස්වරය පළමු පද පෙලේ මන්ද්‍ර ස්වරයෙන් ඇරඹී, අවසන් වචනය වන විට වඩාත් උච්චස්ථානයක් ගෙන යාමට මාස්ටර් විසින් තීරණය කරයි. රචකයා මතුපිට අර්ථයෙන් නොකියවෙන අනුවේදනීය කතාවක් පදරචනය තුළින් යථාර්ථයක් කොට දක්වන්නේය.
පේසාලෙයි හන්දිය ලඟ
කනේරු මල් ගහ පාමුල
ඔබ පරවී වැටිලා
පපුවෙන් ලේ ගැලූවා
කනේරු මල් මරණයේ සංකේතයක් බඳුය. නමුත් ඉන් ඔබ්බට විහිදෙන සියුම් අර්ථයක් එහි ගැබ් වන්නේය. මේ ගීතයෙන් කියවෙන මන්නාරම පරිසරය රචකයා මතු කරන්නේ වැලිපාරත්, කනේ්රු මල්ගසත් යන ද්විත්වයෙන් පමණි. මේ එකකට එකක් නිස්සාරය. කනේරු මල් දැකීමට පි‍්‍රය උපදවන්නක් නොවේ. එහි කිසියම් ගූඪ බවක් විද්‍යාමාන වේ. සැබැවින්ම එය ජීවයෙන් ගිලිහුණ පරිසරයකි.
ගීතයේ් දෙවන පදපෙළ තුළින් රචකයා මෙහි කිසියම් සංදිස්ථානයක් ඉස්මතු කරයි. මේ තරුණියත් මියගිය තරුණයාත් හුදු අපට නිරන්තරයෙන් හමුවන්නාවූ යුවලක් නොවේ. ඒ බව රත්ත ශී‍්‍ර විජේසිංහයන් පද රචනයට නගන්නේ වඩාත් ප‍්‍රබල ආකාරයෙනි. තරුණයාගේ මරණය මෙතැන් පටන් සාමාන්‍ය මරණයක් නොවන්නේ ය.
ඔබ නැතිව ගියේ මටමයි
මේ රටට නොවෙයි
මහපොළවට මිස මිනිස් කමට
පෙම් නොකරන රටට නොවෙයි
ඔහු මෙතැන් පටන් වාර්ගික යුද්ධය හමුවේ මරණයට කැපවූවෙකු වන්නේය. යුද්ධයෙන් දෙපාර්ශවයේම දහස් සංඛ්‍යාත ජනයා නිරපරාදයේ අහිමි විය. ඒ අහිමිවීමේ වේදනාව වැඩියෙන් දැනෙනුයේ බැඳීම් සමඟ තනිවුවන්ටය. ඔහු නැතිවීමේ පාඩුව ඇය තද සිතින් විඳ දරාගනනු ලබයි. නමුත් ඇගේ සිත තුළ නැගෙන ද්්වේෂය යටපත් නොවෙයි. ඇගේ ද්වේෂයට හසුවන්නේ ඔහුු මරාදැමූ අය නොවේ. භූමියට හිමිකම් කීමට වාර්ගික යුද්ධයේ දෙඅන්තයටම උවමනාවිය. ඔවුන් මහපොළොව සතු කරගැනීමේ චේනතාවෙන් මිස, මිනිස්කමේ චේතනාවෙන් අරගල නොකළ බවට ඇය දෝෂාරෝපණය කරයි.
ඇගේ මේ විරෝධාකල්පය වාර්ගිකත්වයේ එක් අන්තයකට සීමා නොවන්නේය. භූමිය ඉල්ලා යුධකල වුන් මෙන්ම, භූමිය රැුක ගැනීමටද යුද්කල උන්ටද අමතකවීගිය යමක් ඇය මතක් කරයි. එනම් ඔවුන්ගේ වුමනාවන් මහපොළවේ අයිතිය බෙදාගැනීමට මිස මිනිසත්භාවය පිණිස නොවන බවය. රචකයා මින් වාර්ගිකත්වය හමුවේ කුණුවුන ආධ්‍යාත්මයෙන් යුතුව, රටේ අයිතිය පිළිබඳ බලාපොරොත්තුවෙන් ලේ වැගිරීම් දෙස නිශ්ෂබ්ද මුඛයෙන් බලාසිටි අප වැන්නවුන්ගේ හෘද සාක්ෂියට පහර ගසයි. එබැවින් මේ ගීතයෙන් විරෝධය පාන්නේ එක් පාර්ශවයකට නොව, සමස්ත මනුෂ්‍යය වර්ගයාට ය.
ගීතයෙන් මුලින් නොකියවුණ යමක් මෙම පදපෙළ ඇසීමෙන් මනසට නැගෙන්නේය. එනම් ගීතයට පසුබිම වූ මන්නාරම් නගරය පිළිබඳව ය. ගීතය ලියවුණ වර්ශය හා පසුබිම වනවිට මන්නාරම යනු වාර්ගික යුද්ධයේ අතරමැදි නගරයකක් විය. විශේෂත්වය නම් එහි සිංහල, දෙමළ, මුස්ලිම් මෙන්ම විවිධ ජාතීන් වාසය කිරීමයි. ගීතයේ තරුණියත් තරුණයාත් සම්බන්ධ සමාස්තාර්ථය වටහා ගැනීමේ දී පදරචකයා රසිකයා ඉදිරිපිට හිදැසක් තබයි. එමඟින් මෙම ගීතය මුළුමහත් සමාජයටම පොදු බවක් ප‍්‍රකට කරයි.
මෙම ගීතයේ සංගීතයෙන් වෙන්ව ගීතයේ සමස්තාර්ථය විඳගත නොහැකිය. කේමදාස මාස්ටර් මෙහි සංගීත නිර්මාණයට කිසියම් ආභාසයක් රාගධාරී සංගීතයේ එන තෝඩි රාගයෙන් ලබාගත් බව පෙනෙයි. එහි නාද රසයත්, රිද්මයත් හද බර කරවන සුළුවේ. ගායනයේ විලාසයත්, රශ්මි සංගීතාවන්ගේ කටහඩත් මවන්නේ දෙමළ උච්ඡුාරණ විලාසයකි. ගීතයේ ගායනය කර්ණාටක විලාසයට තරමක් නැඹුරුය. ඉතා සංයමයෙන් සවන්දෙන්නේ නම් ගීතයේ අර්ථයත්, සංගීතයත් එකතු වූ තැන මැවෙන්නේ හිස් ලූ ලූ අත සැරිසරන මනූෂ්‍යය විලාසයකි.
යුද්ධයේ බිහිසුණු බව වැඩිවෙත්ම බියෙන් පිරි හැඟීමක් පැතිරිණි. ඒ පාර්ශවයටත්, මේ පාර්ශවයටත් එල්ල කරගත් දෝෂාරෝපණ විනා යුද්ධයේ ගිනි නිවීමට මැදිහත්වූවෙකු නොවීය. ඉන් සිදු වූයේ අතරමැදි මිනිස් ජීවත දහස් ගණනින් සමුහ මිණීවලවල් වල මිහිදන් වීම පමණි. මෙහි දොස් පැවරිය යුත්තේ කාටද ? මීලඟ පදවැලෙන් රචකයා තමාගේ සිත තුළ නැගෙන එවන් සිතුවිලි තරුණියේ මුවට නන්වයි. ඒ
ගිනි ලන්න රටක් නෑ
රට ගිනිගෙන ඉවරයි
මේ සොහොන් බිමේ දිනෙන් දින
පස්කඳු වැඩිවෙයි
යනුවෙනි. මෙය තරුණියගේ මුවට එක් කළ රත්න ශී‍්‍ර විජේසිංහයන්ගේ චින්තාවන්ය. මානව සමාජය නව ජීවන දෘෂ්ටියක් වෙත ගෙනයාමට මෙම ගීතය සමත්කම් දක්වා ඇත. වාර්ගික යුද්ධය හමුවේ අනාථ වුණ මිනිස් සිතිවිලි බලාපොරොත්තුවක ශේෂමාත‍්‍රයක් හෝ නොමැතිව සිඳීයන බව රත්න ශී‍්‍ර විජේසිංහයන් මෙම ගීතයෙන් කියයි. ඔහු එය ගීතයට නගන්නේ වඩාත් තීව‍්‍ර හා සංවේදී ආකාරයෙනි.
නැඟිටින්න එපා... නැගිට කොහේ යන්නද අපි
ඉතින් කෝවලන්... ඉතින් කෝවලන්...
සිතට කාවැදුන බැඳීම්වල අවසානක් දැකීමට කිසිවෙකුත් අකමැතිවේ. අහිමිවීම හමුවේ මතු මතුත් හිමිවීම ප‍්‍රාර්ථනා කිරීම මනුෂ්‍යය ස්වභාවයක් වී ඇත්තේ ඒ නිසාවෙනි. යතාර්ථය කුමක් වුවද මරණයෙන් වෙන්වූ අයෙකුට නැවත ජීවිතය ලද හැකිනම් එය සැපතක් ලෙස සළකන්නට සමාජය හුරුව ඇත. පදරචකයා එහිදී අපට කන්නගී කෝවලන් කතාව මතක් කරයි. කන්නගී යදින්නේ තමාට අහිමු වූ පුරුෂයා යලි ලබා ගැනීමටය. කෝවලන් මරණයෙන් නැගිටුවා ගැනීමට පතිනිය කළ වෙහෙස ජාති භේදයකින් තොරව සැමගේම හදවතෙහි තැම්පත්ව ඇති කතාවකි. නමුත් මෙහි එන තරුණිය තමාගෙන් වෙන් වූ පි‍්‍රයයාට පවසන්නේ යලි නැගිටින්න එපා යනුවෙනි. ඇයටත් ඔහුට මෙන්ම ජීවත්වීමෙන් තවත් ලද හැක්කක් නොමැත. යුද්ධය හමුවේ සියල්ල නිදහසින් තොර වූ බව ඇයට සිතෙයි. ඇයටත්, ඔහුටත් නිදහසේ විසීමට ලොවක් නොමැති තැන, අධ්‍යාත්මය හිස් වූ මිනිසුන් සිටින තැන, යලි නැගිටීමෙන් ඇති පලය කුමක්දැයි ඇය අසන්නේ එබැවිනි. ඉතින් කෝවලන්... මෙහි ජීවත් වීමට වඩා මරණය සැපක් වනු ඇත.
සුභාෂිණී පෙරේරා
No comments:
Post a Comment