Monday, May 29, 2017

දෙවියන්ගේ දාසිය සොයා ගියෙමි.

(දේවස්ථාන ආශ්‍රිත පූජනීය නාට්‍යාංගනාවන් පිළිබඳ අන්තර් සංස්කෘතික වශයෙන් කරනු ලැබූ අධ්‍යයනයකි)


     දෙවියන් වෙනුවෙන් කැපවුණ ස්ත්‍රීන් පිළිබඳ අධ්‍යයනය කරන විට විශේෂයෙන් හඳුනාගත යුත්තේ දේවදාසීන්ය. දේවදාසි යන පදය ඉන්දියාවේ භාවිත වචනයකි. දෙවියන් වෙනුවෙන් කැපවුණ ස්ත්‍රිය නැතහොත් දේව වෛශ්‍යය යන්න ඉන් අරුත් ගැන්වේ. දේවදාසී නැතහොත් සිද්ධස්ථාන වෙසඟන දෙවියන් සමග විවාහයෙන් බැඳී වෙසෙන්නියකි. ඇයගේ කාර්්‍යයභාරය වූයේ දෙවියන් සහ මිනිසා යන දෙදෙනාටම තම සිරුර පුදමින් නාට්‍යාංගනාවක ලෙස ඔවුන් ප්‍රීණනයට පත් කිරීමයි. ඉන්දියානු දේවස්ථාන ගණිකාව අනික් ගණිකාවන්ගෙන් බොහෝ සෙයින් වෙනස් වේ. ඇය කිසියම් කරුණක්, අභිලාසයක් මුල් කරගෙන දෙවියන් වෙනුවෙන් පූජා කල ස්ත්‍රියක් වේ. ඇය භරත නාට්‍යයම් නමැති නර්තන විලාශය කුඩා වයසේ පටන් පුරුදු පුහුණු විය යුතුය. නිසි වයසට පැමිණි පසු ඇය දෙවියන් හා විවාහ වී දේවස්ථානයේ නර්තන කටයුතු කරමින් වෙසෙයි. ඒ අනුව භාරතීය සාමාන්‍ය ගණිකාවන් හා කාන්තාවන්ට වඩා උසස් තත්වයක් මුල් කාලීනව දේවදාසීන්ට හිමි වූ බව කිවයුතුය.

     දකුණු ඉන්දියානු කුල වාදය ගැන කියවෙන Casts and tribes of south india නමැති ග්‍රන්ථයෙහි  E. Thurston සඳහන් කරන පරිදි “දේවදාසී නාමය ගත් කුලයේ වර්ධනය ක්‍රිස්තු වර්ෂ නවවැනි සියවසේ පමණ පටන් වූ බව සැලකේ. එකී දේවදාසීන්ගේ කාර්්‍යය වූයේ කෝවිල් ආශ්‍රිතව අලංකාර උත්සව වලදී නැටුම් පැවැත්වීමත්, ගව කෙඳි වලින් සැදූ අවන්පත් වලින් දේව ප්‍රතිමා වලට පවන් සැලීමත්ය” ඊට අමතරව පෙරහැර වල නැටීමත් ඔවුන්ට අයත් විය.

     ඉහතින් දක්වන ලද කරුණ 14 වන සියවසේ ලංකාවට පැමිණි ඉබන් බතූතා කරන ප්‍රකාශය සමඟ සංසන්දනය කළ හැකිවේ. “දෙවුන්දර උපුල්වන් දේවාලයේ දෙවියන් ඉදිරියේ පන්සීයක් හින්දු බාලිකාවන් ගී ගයමින් නැටූබව” ඔහු සඳහන් කරයි. දෙවියන්ගේ පිළිරුව අභියස සිට බාලිකාවන් නටන ලද බව ඔහු තව දුරටත් විස්තර කරයි. ඒ අනුව දේවදාසින් ට සමාන සංස්කෘතික කොට්ඨාශයන් ඉන්දියාවට පමණක් ලඝු නොවේ. ලොව පුරා නොයෙක් සංස්කෘතීන් වල දෙවියන් කෙරෙහි කැපවුන ස්ත්‍රීන් දැකගත හැකිවේ. විශේෂයෙන් ග්‍රීක දේව සංකල්පවල වෛශ්‍යයාකර්මය දේව වන්දනාවේ ම කොටසක් විය. ග්‍රීසියේ මිදි ඵලදාවත්, සශ්‍රීකත්වයත්, මෛථූනය හා දෙවියන් අතරත් අන්තර් සබඳතාවයක් පැවතිණි. විශේෂයෙන් මෙබඳු සංසිද්ධීන් ප්‍රධාන වශයෙන් මධ්‍යධරණී ප්‍රදේශ, පූර්ව ආසියාකරය, බටහිර අප්‍රිකාව හා දකුණු ඉන්දියාව පුරා ප්‍රචලිතව තිබු බවට සාධක ඇත.

     ඉන්දියාවේ දේවදාසීන් මුලු ජීවිත කාලයම දෙවියන් වෙනුවෙන් කැපකර දෙවියන්ගේ නමින් පූජකවරුන් හා පූජනීය ස්ථානයේ වන්දනාවේ යෙදෙන පිරිස් සමඟ මෛථුනයේ යෙදෙයි. බැබිලෝනියන්වරු අතර පවතින වීනස් වන්දනාවේ දී රටේ උපදින සෑම ස්ත්‍රියක්ම ජීවිතයේ එක් වරක් වීනස් දෙව්මැදුරේදී වීනස් දෙවඟනගේ නමට එහි එන ආගන්තුකයන් සමඟ විසිය යුතු විය. නමුත් ඒ හැරුණු විට ජීවිතයේ වෙනත් කිසිම අවස්ථාවක අන් පුරුෂයෙකු හා විසීමට ඇයට අවසරයක් හෝ හැකියාවක් නොලැබෙයි. අන්තර් සංස්කෘතිමය වශයෙන් එක් සංස්කෘතියක් තුල පවතින විශ්වාසයන් හා ක්‍රියාකාරකම් තවත් සංස්කෘතියක් කෙරෙහි පැතිර පවත්නා බව මෙහිදී පෙනී යයි.

     ග්‍රීසියේ ද මීට සමාන සංස්කෘතිකාංගයක් හමුවේ. ආලයට අධිපති වූ ඇප්‍රොඩයිට්ගේ නිජබිම ලෙස සලකන ඇතැන්ස් හි වෙසඟන දේවත්වයට නංවා ඇත. ඇප්‍රොඩයිට් දේවස්ථාන ආශ්‍රිතව විශාල වශයෙන් දෙවියන්ගේ වෛශ්‍යාවන් දැකගත හැකි විය. ඔවුන් යන්ත්‍ර මන්ත්‍ර මෙන්ම නර්තනය විශයෙහි ද සමත්කම් දැක්වීය. ඊජිප්තුවේ හා ෆීනිෂියාවේ ද තරුණියන් තම ජීවිතයේ කිසියම් කාල සීමාවක් පූජනීය අභිසරු ලියක් ලෙස විසිය යුතු විය.

     ඇතැම් රටක දේවස්ථාන නාට්‍යංගනාවන් පූජකයන් හෝ වෙනයම් පුද්ගලයන් සමඟ ලිංගික සංසර්ගයේ යෙඳුණු බවට සෘජුව ප්‍රකාශ නොවෙතත්, බොහෝ රටවල දේවදාසීන්ට දෙවියන් සතුටු කිරීම උදෙසා නර්තනයේ යෙදීම අනිවාර්ය අංගයක් විය. නිදසුන් ලෙස ලංකාවත්, නේපාලයත්, ජපානයත් හැඳින්විය හැකිය.  නොයෙක් සංස්කෘතීන් තුල දෙවියන්ගේ දාසිය නමැති සංකල්පය ඒ ඒ සංස්කෘතීන්ට ගැළපෙන ආකාරයෙන් ගොඩනන්වාගෙන සකස්කරවාගෙන ඇති බව ඒ අනුව අධ්‍යයනය කලහැකි වේ. ඒ ඒ රටවල දේවදාසියට පොදුවූ නාමයන් පැවති අතර ඔවුන්ගේ කාර්්‍යය වූයේ දෙවියන් ඉදිරිපිට හා පූජනීය උත්සව වල උත්සවාකාරයෙන් සාමූහිකව නැටීමයි. ලංකාවේ ප්‍රචලිතව පැවති දිග්ගෙයි නර්තනය පිළිබඳ තොරතුරු විමසා බැලීමෙන් එය පැහැදිලි වේ.

     දිග්ගෙයි නර්තනය කාන්තාවන්ටම ආවේණික වූ නර්තන විලාශයකි. අත් හා සිරස චලනය තුලින් සාමූහික චමත්කාරයක් මැවීම දිග්ගෙයි නර්තනයෙන් සිදුකෙරිණි. ඉන්දියාවේ පැවැති දේවදාසි නර්තන ක්‍රමය දිග්ගෙයි නර්තනය බිහිවීම සඳහා බලපෑ බව අන්තර් සංස්කෘතීමය වශයෙන් අධ්‍යයනය කරන විට පෙනෙයි. සමාජ දේශපාලනමය වශයෙන් රටවල් අතර සංස්කෘතික බලපෑම් සිදුවන විට සංස්කෘතිකාංග හා විශ්වාස පද්ධති සංකල්පනාවනගේ මිශ්‍රවීමක් සිදුවීම සංස්කෘතික අධ්‍යයනයේදී නිතැතින්ම දැකගත හැකිවේ.

     දේවදාසී සංකල්පය එකම මූලයකින් ප්‍රබවය ලැබ ලොවපුරා ප්‍රචලිත වී ද යන්න පිළිබඳව මතවාද පවතී. මේ සංස්කෘතිකාංගය ව්‍යාප්තව ඇති සෑම රටකම පාහේ දෙවියන් උදෙසා කැපවුණ ස්ත්‍රිය සලකණු ලබන්නේ සශ්‍රීකභාවයේ සංකේතයක් ලෙසයි. ඒ අනුව නන්විධ සංස්කෘතීන්හිදී විවිධ වෙනස්කම් වලට භාජනය වුවද සශ්‍රීකභාවය පිළිබඳ ගොඩනැගී ඇති පිළිවෙත්හි සාම්‍යයක් දැකගත හැකිය. ඒ වටා ගොඩ නැගුණ දේව සංකල්පය වීනස්, අස්ටාටේ, ඇස්ටොරෙන්, ඉස්තාර්, අයිසිස්, ඇප්‍රොඩයිට්, ශිව යනුවෙන් බටහිර හා පෙරදිග රටවල ගොඩනැගී තිබුණද සෑම තැනකම ඉටු කලේ එකම කාර්යභාරයකි.

     ඇතැම් සංස්කෘතීන් තවත් සංස්කෘතියක් හා අන්තර් සම්බන්තා පැවැත්වීමේ දී, ඇතැම් සංස්කෘතීන් වෙනස් වීමට හා අනෙකුත් සංස්කෘතීන් සමඟ දෝලනය වීමට ප්‍රිය නොකරයි. එහිදී සංස්කෘතික හිදැසක් ඇතීවීම වළක්වාලමින් අන්තර් සංස්කෘතීමය වශයෙන් එක් එක් ජනකොටස් අතර සම්ප්‍රදායන් හා සංකල්පයන් හුවමාරු වේ. ඒ අනුව එම සංස්කෘතීන්ගේ ස්ථායීතාව නිරන්තරව පවත්වාගෙන යාම දැකිය හැකිය. සෑම සංකෘතික අංගෝපාංගයක් ම සක්‍රීයව වෙනස්කමකට භාජනය වේ. දෙවියන් උදෙසා කැපවුණ ජීවිතයක් සහිතව, දෙවියන්ගේ දාසියක් ලෙස ක්‍රියාකිරීම ලොව පුරා රටවල් ගණනාවක දැකගත හැකි වන්නේ ඒ ආකාරයටය. එය අන්තර් සංස්කෘතික වශයෙන් සිදුවුණ ස්ථිතික හා ක්‍රියාශීලී ඩයලෙක්තියකි.

     දෙවියන් වෙනුවෙන් කුඩා වයසෙහි දී පූජා කරනු ලැබූ තරුණියන් එකොළොස් වෙනි වියට එලබෙන තෙක් ශිල්ප හා ප්‍රයෝග උගන්වා,  දෙවියන් සමඟ විවාහ කරවීම දේවදාසිය වීමේ මූලික පිළිවෙතයි. දේවදාසි කුලයේ සම්භවය ක්‍රි. ව. නමවැනි සියවස පමණ තෙක් ඈතට විහිද යන බව සඳහන්වේ. ඉන්දියාවේ පමණක් නොව ග්‍රීසියේ ඇතැන්සය, ෆිනීෂියාව, බැබිලෝනියාව, නේපාලය හා ශ්‍රී ලංකාවේ ද දෙවියන් විෂයෙහි පුද පූජා පවත්වමින් දෙවියන් ඉදිරියේ නර්තනයේ යෙදීමට කැප වූ කාන්තාවන් දැකිය හැකිය. මෙහි විශේෂත්වය වන්නේ ඔවුන් ජීවිතයේ එක් කාල වකවානුවක් හෝ මුලු ජීවිත කාලයම දෙවියන් වෙනුවෙන් කැප වී සිටීමයි.
    
        ඉහත කී එක් එක් රටවල දෙවියන් වෙනුවෙන් කැපවුණ ස්ත්‍රීන් ගේ සමානතා මෙන්ම අසමානතාවන්ද දැකිය හැකිය. ග්‍රීසියේත්, ඉන්දියාවේත් පූජනීය අභිසරුලිය පූජාකර්ම හා ලිංගකර්ම යන ද්විත්වයෙහිම නිරත විය. ලංකාවේ හමුවනුයේ දෙවියන් ඉදිරියේ නර්තනයේ යෙදෙන කුල පරම්පරාවන්ය. මුල් කාලීනව හින්දු පූජා විශේෂයක්ව පැවති ලංකාවේ දිග්ගෙයි නැටුම පසු කාලීනව බෞද්ධ මුහුණුවරකක් ගත් ආකාරය අධ්‍යයනය කිරීමෙන් එය දැකගත හැකිය. නේපාලයේද දෙවියන් ඉදිරිපිට නර්තනයේ යෙදීමට කැපවුණ ස්ත්‍රීන් කන්‍යාවන් ලෙස ජීවිතාන්තය තෙක් සිටියයුතු වූ බව කියැවේ.

ඉතිරි කොටස මීලඟ ලිපියෙන්

No comments: