Friday, April 7, 2017

දෙවියන් කොහිද ?



     දෙවියන් යනු මිනිස් චෛතසිකයේ පහල වූ දැවැන්තම සංකේතය (symbol) බව කිවහැකිය. මිනිසා විසින් නිිර්මාණය කල දෙවියන්ම, මිනිසාගේ නිර්මාපකයා ලෙස හැඳින්විය. ඇතැම් යුග වලදී මිනිසා සහමුලින්ම වසඟයට ගන්නට දෙවියන් සමත්විය. මේ මහා සංකේතය තරම් වෙනස් කිරීමට අකමැති යමක් නොවන්නේ දෙවියන් වටා ගොඩනැගුණු අසීමිත බලාරෝපණයත්, මිනිසා තුළ අවිඥානිකව ගොඩනැගී ඇති බියත් හේතු කොටගෙනය.



     මානව චර්යාවේ සෑම අංගයක්ම දේව සංකල්පයක් සමඟ ඈදී ඇති බව සියුම්ව විමසා බලන විට පෙනේ. දෙවියන් පිළිබඳ සංකල්පයන් කවදා පහළ වූවාදැයි නිශ්චිතව කිව නොහැකිය. දෙවියන් පිළිබඳ සංකල්පයන්ට පළමුව යකුන් පිළිබඳ අදහස් මිනිසා තුළ පහල වූ බව මානව විද්‍යාඥයින්ගේ මතයයි. මිනිසාගේ සම්භවය පිළිබඳ ඒ ඒ දේවවාදී සංකල්ප තුළ ගොඩනැගී ඇති ප‍්‍රවාදයන් තිබේ. මිනිසාගේ සම්භවය පිළිබඳ සඳහන් කරන තැන්හි දී, දෙවියන් පිළිබඳවද නිතරඟයෙන් කියැවිනි. එනිසා දේවෝත්පත්තියත්, මිනිසාගේ උප්පත්තියත් පිළිබඳ අපට එක්ව කථා කරන්නට සිදුවී තිබේ. විශ්ව නිර්මාණය පිළිබඳ මිනිිසා තුළ වූ කුහුල මේ උත්පත්ති කථා තුළින් අරුත් ගන්වයි. එපමණක් නොව  මැවුම්කාර බලවේගය ලෙස ඇතැමුන් අර්ථ දක්වන්නේද, දෙවියන් ලෙස අර්ථ දක්වන්නේද ස්වභාවධර්මය තුළ ඇති උත්පාදන ශක්තිය යැයි සියුම්ව විමසන විට හැඟීයයි. මිනිසාට තේරුම්ගත නොහැකි වූ බලවේගයන් කැටිව තිබුනේ ස්වභාවධර්මය වටාය. එබැවින් දෙවියන් යනු ස්වභාවධර්මය වර නැගීමක් බඳුවිය.

                                                                
     දෙවියන් පිළිබඳ ඇතැම් සංකේත පැලියෝතිලික යුගයේ එනම් පුරාණ පාෂාණ යුගයේ දී හමුවේ. විශ්වාස, මන්ත‍්‍ර ක‍්‍රම, ඉන්ද්‍රජාල ආදිය ආදී මිනිසා තුළ පහල වී තිබුණු බවට වැදගත් සාධකයක් ට‍්‍රවාෆෙරේ හා ආරිග් ගුහා සිතුවම් අතර හමුවෙයි. මෙම සිතුවම නැටුම් විලාසයක් පෙන්වයි. ඒ රුවට මිනිස් මුහුුණක්, බකමුණෙකුගේ නෙත් හා සිරසේ ගෝන අං තට්ටුවකි. කන් දෙක වෘකයෙකුගේය. නිය සිංහයෙකුගේය. වලිගය අශ්වයකු වැනිය. ඇතැමුන් දක්වන මතය නම් මෙම සිතුවමෙන් සතුන්ට අධිපති දෙවියෙකු අර්ථවත් වන බවයි. තවත් සමහරුන් කියන්නේ දඩයම වැඩිකිරීම උදෙසා මෙසේ සැරසුන මන්ත‍්‍රකරුවෙකුගේ කි‍්‍රයාව මින් සිතුවමට නංවා ඇති බවය. මෙම සිතුවම ඇත්තේ ලඟා වීමට අපහසු උස්තැනක වීම හේතුවෙන් ඊට යම් පාරිශුද්ධත්වයක් එක් කිරීමට උත්සහ දෑරූ බව ඔවුන් වැඩි දුරටත් කියයි.


     පුරා විද්‍යාඥයින් විසින් සොයාගෙන ඇති සාක්ෂි අනුව මව් දෙවඟන පිළිබඳ ඇදහීම් සංකේත බොහෝ රටවලින් හමු වී තිබේ. මාතෘත්වය, සශි‍්‍රකත්වය, ගොවිතැන, උත්පාදනගුණය ඉන් අර්ථවත් කෙරිණි. මෙවැනි සංකල්පයන් මිනිසාගේ ආධ්‍යාත්මය තුළ වැඩි දියුණු වූ අධි පුද්ගල චෛතසිකයන් ලෙස දැක්විය හැකිය. කෙසේ වෙතත් දෙවියන්් වටා ගොඩනැංවී ඇත්තේ අසීමිත බලයකි. දෙවියන් නොමැති තැනක් මිහිමත සොයාගත නොහැකිය. මිනිසාගේ මනසට හසුවන සෑම අස්සක් මුල්ලක් නෑරම දෙවියන් වෙසෙයි. දෙවියන් අදෘෂ්‍යමානයැයි කියන්නේ මනැසට පමණක් ගෝචර වන නිසාවෙන් යැයි කිවහැකිය. මිනිසාගේ සහජ සාමූහික ගුණය මෙන් දෙවියාටද තනිව විසිය නොහැකි විය.



සෑම රටකම පාහේ දේව සමුහයක්, මණ්ඩලයක් නිරමිතව ඇති අයුරු දැකගත හැකිය. දෙවියන් වෙසෙන්නේ දිව්‍යලෝකයේ යැයි කියයි දෙවියන්ද, දේවතාවතාවියන්ද පවුල් දරු දැරි සම්බන්ධතාවල රසපහස විදිමින් විරාජමාන වෙයි. වඩාත් විචිත‍්‍ර දේවකතා ගී‍්‍රසියේත්, භාරතයේත් දැකගත හැකිය. ඒ මහා ශිෂ්ඨාචාර යුග්මයේ බලපෑම අඩු වැඩි වශයෙන් පර්යන්ත රාජ්‍යන්ටද බලපා ඇත. දේවකතා විමසන විට මනුෂය ලෝකයට බට දෙවිවරුන් මනුෂයින්ට දාව ලෑබූ දෙව්පුතුන් මෙන්ම සුරා සුර යුද්ධයන් පිළිබඳ ද වෙයි. සුරාසුර යුද්ධයේ අතර මැදිකරුවන් වීමට සිදුවූයේ මනුෂ්‍යලෝකවාසීන්ටය. ගී‍්‍රසියේත්, භාරතයේත්, දේවකතාවල ඉතා ගැඹුරු සමානකම් දැකිය හැකිය. දේව සංකල්පය එකම මූලයකින් බිඳී විසිර යන්නට ඇතැයි එමඟින් සිතන්නට තුඩුදෙයි.



ගී‍්‍රක ඇපලෝ දෙවියා දෙව්ධිපති සෙවුස් සහ ලීටෝ ගේ පුතුය. අර්ටෙමීස් නම් දෙවඟන ඔහුගේ සොයුරිය යැයි සැලකේ. අපලෝ දිවාකලට අධිපති සුර්්‍යයා යැයි සංකේතවත් කරයි. අර්ටෙමීස් රාතී‍්‍රයට අධිපතිනියය. භවභෝගාදිය හිමෙන් හා වසංගත ආදියෙන් ආරක්ෂාකර දෙන්නේ අපලෝ ය. අපලෝ සංගීීත ලෝලී අතිශයින් සුරූපී දෙවියෙකු ලෙස මූර්තිමත් කොට තිබේ. භාරතීය සංකල්පයන්හි හමුවන විශ්ණු දෙවියා අපලෝට අතිශයින් සමානකමක් දක්වයි. අර්ටෙමීස් යුද්ධයට අධිපති ලෙසද සළකයි. ගව බැටළු රැුළට හා වන දඩයමට අධිපති වන්නේද ඇයයි. අතීනා දෙවඟන  අතීන පුරයේ ඉෂ්ට දේවතාවිය ලෙස සළකයි. ඇතැන්සයට එම නම් ලැබූනේ ඇගෙනි. ඇය යුද්ධයට ද අධිපතිය. යුක්තිගරුකය. අයුක්ති සහගත පුද්ගලයන්ට ජය අත්පත්කර නොදයි.



දියෝනුසොස් සෙව්ස්ට දාව මිහිමත කුමරියකට දාව උපත් බව සැලකේ. සශී‍්‍රකත්වයට, මද්‍රපානයට බහුඵලත්වයට අධිපතිය. රූමත්ය. තරුණය. බැතිමත් ස්තී‍්‍රන් රාශියක් වටකරගෙන ඊජිප්තුව සිරියාව හා භාරතයේ ගංගා නිම්නය තෙක් ගමන් කරමින් ස්වකීය දේවත්වය එහි වැසියන්ට පිළිගන්නට සැලසූ බව කියැවේ. කි‍්‍රෂ්ණ යනු දියෝනිසොස් යැයි මතවාද ඉදිරිපත්ව තිබේ. දියෝනිසොස් කාව්‍ය ගීත ආදියට අධිපතිය. ගීී‍්‍රක නාට්‍ය කලාව දියෝනිසස් වන්දනයේ ප‍්‍රතිඵලයකි. හිරක්ලීස් දේවත්වයෙන් පුදන ලද ගී‍්‍රක වීරයෙකි. ඔහුගේ කතාවන් වික‍්‍රමාන්විත කි‍්‍රයා රැුසකින් සමන්විතය. ඔහු අපට භාරතීය රාම රජුගේ වික‍්‍රමාන්විතයන් සිහිකැදවයි.



පොසෙයිඩොන් ගී‍්‍රක  සමුද්‍ර දේවතාවාය. ජලයට අධිපතිය. ඔහුගේ සොහොයුරන් සෙවුස් හා පුලොව්ටෝන් ය. සිය පියා වූ ක්‍රොනෝස් ගෙන් ලෝකාධිපත්‍ය පැහැර ගන්නා මේ සොහොයුරන්ගෙන් සියුස් හට අහසද, ප්ලොවටෝන් හට පාතාලයද, පොසෙයිඩොන්ට සමුද්‍රයද අයත්විය.

සියුස් ගී‍්‍රකයින්ගේ ශ්‍රේෂ්ඨතම දෙවියා ලෙස සැලකයි.  ඔහුගේ ආයුධය වජ‍්‍රයයි. යුක්තියේත්, සත්‍යයේත් දේවතාවා ඔහුය. අහංකාරය, අයුක්තිය, අපරාධයන්හි යෙදන්නාට දඬුවම් දෙන්නේ සෙව්ස්ය. ඔහු සිය සොහොයුරියන් සමඟ මෙන්ම මනුලොව නොයෙක් ස්තී‍්‍රන් සමඟද කාමයේ හැසිරුනෙකි. සෙවුස් දෙවියාට සමාන රෝම දෙවියා ජුපිටර්ය. හෙතෙම ඉන්දීය වරුණ දෙවියන්ට සම බවක් දක්වයි. පෙරදිග මහාමේරු පර්වතය මෙන් ගී‍්‍රක දෙවියන් විසූයේ ඔලිිම්පස් කන්ද වාසය කොටගෙනය. මහාමේරුව ප‍්‍රවාදයක් යැයි සැලකිය නොහැකි වූ පුවතක් කැලණිය විශ්වවිද්‍යාලයේ  ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එම්. කේ. ජයසේන මහතා ගෙන එයි. බුදුරදුන් ජීවමානව සිටි සමයේ විසූ යැයි සැලකෙන මහා ඬේරියස් රජු සිය අගනුවර ලෙස තෝරා ගත්තේ පාර්සි පොලිස් නගරයයි. උස් භූමියක කන්දක් කපා කෘතිමව ඉදිකරගත් එම නගරය බෞද්ධ පතපොතේ සඳහන් වන්නේ මහාමේරුව වශයෙන් යැයි ඔහු සිය පර්යේෂණයන්හිදී දක්වයි.


ඬේරියස් රජු මුළු අධිරාජ්‍යයම භාරව තිස්තුන් දෙනෙකුගෙන් යුත් සභාවක් වූ බව සැලකේ. එය සුදම් සභාවයයි හඳුන්වා ඇත. පළමුවන ධර්මසංඝායනාව සඳහා රහතන් වහන්සේලා රැුස් කරවීම පිණිස මහා කාශ්‍යප හිමියන් වැඩියේ පාර්සි පොලිස් අගනගරයට බව කි‍්‍ර. ව. 640 දී ඉන්දියාවට පැමිණි හියුංසාං හිමි තම දේශාටන වාර්තාවල සඳහන් කර ඇත.

දෙවියන් ජීවමමානව වැඩ විසූ යැයි සැලකෙන ස්ථාන හා ප‍්‍රදේශ පූජනීයත්වයේ ලා සලකනු ලබයි. ඒවායේ හාස්කම් හෙවත් දේව බැල්ම තිබෙන බව විශ්වාසයයි. කෙසේ වෙතත් දෙවියන් යනු අධිභෞතික ශක්තීන් උරුම කරගත් පිරිසක් පමණක් නොවන බව බටහිර විද්වතුන් දක්වන මතයයි. විශේෂයෙන් දේව යනුවෙන් හැඳින්වූ ජන කොට්ඨාෂයක් මිහිමත විසූ බවට සාදක සොයාගෙන ඇත. ඔවුන් ධන ධාන්‍ය නිවාස මෙන්ම රාජ්‍යමය වශයෙන් සැප සම්පත් පිරිවරාගෙන විසූ ජනකොට්ඨාෂයකි. ධන බලය මෙන්ම යුධ බලයද ශාස්ත‍්‍ර හා කාර්මික ඥානයද ඔවුන් සතු වූ බවට අධ්‍යයනය කර ඇත.


පාර්සි නගරය පාරාදීසය හෙවත් පැරඩයිස් එනම් දෙව්ලොව ලෙස ව්‍යවහාරයට පත් වූ බව ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය එම් කේ ජයසේන මහතා සඳහන් කරයි. එහි වැසියන්ට මහත් ධන සම්භාරයක් රැුස් කරගැනීමටත් යටත් දේශවාසීන් කෙරෙහි අධිපතිකම් කිරීමටත් හැකියාව ලැබුණි. මේ නිසා පාර්සි වැසියන් දේව හෙවත් දේවයෝ ලෙස හඳුන්වන ලදැයි ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.

පුරාණ ලංකාවේ ආර්ය ජනකොටස් පිළිබඳව පර්යේෂණ කෘතියක් ඉදිරිපත් කළ ආචාර්ය සරත් අමුණුගම මහතා ද මේ පිළිබඳව පවසයි. ඉරාණය හෙවත් අයිරාණය යන්නෙහි අර්ථය ආර්යයන්ගේ රට යන්නය. එය පුරාණයේදී හඳුන්වන ලද්දේ පර්සියාව යන නමිනි. පර්සියානු වැසියන් ඉන්දියානු ආර්යයන් විසින් හඳුන්වන ලද්දේ දේව යන නමිනි. විල්හෙල්ම් ෙගෙගර් පඬිතුමා ද දේව යන වචනයෙහි නිශ්චිත අර්ථය රජ යනුවෙන් දක්වා ඇත.


දෙවියෝ මිහි මත විසූහයි ති‍්‍රපිටකයේ ඇතැම් කොටස් උපුටා දක්වමින් කරන අධ්‍යයනයන් ද රාශියකි. දෙවියන් උදෙසා ගෞරවාර්ථයත්, පූජනීයත්වයක්, බලාරෝපණයත් සිදු වූයේ එම විශ්වාසයන් හා පදනම්ව ගොඩනැගී ඇති ප‍්‍රවාදයන් ඇසුරේය. දෙවියන් කොහි සිටී දැයි නිශ්චිත නොවේ. නමුත් අසීමිත විශ්වාසයන් හා සබැඳුණ දෙවිවරුන් වෙසෙන්නෙන් නම් මිනිසා තුළමය.



සුභාෂිණී පෙරේරා


No comments: