Thursday, June 29, 2017

තිත්ත බත



බත සහල තරම් සම්පතක් ලංකාව තුළ නැතිදැයි විටෙක මට සිතේ. අද එක් අගයක් ගන්නා හාල් මිල හෙට වනවිට රැපියලකින් හෝ දෙකකින් වැඩිවෙයි. කඩකාරයින්ට ඊට කීමට නොයෙකුත් හේතු තිබේ. නරියාට මිදි තිත්ත වූවා සේ ජනයාට බත තිත්ත වන දවස වැඩි ඈතක නොවේ.

1950 දශකය ද රටටම බත තිත්ත වූ දශකයක් බවට පත්ව තිබිණි. එකළ රජයෙන් හාල් මිල ඉහළ නැංවීම හේතු කොටගෙන මහජනයා තුළ මහත් නොසංසුන්තාවයක් ඇති වී තිබිණි. රටේ දේශපාලන කළබැගෑනි ඇති විය. උග්‍ර පීඩනයකකින් පෙළෙමින් සිටි මහජනයා ප්‍රකෝපකාරී විය. ඒ සියල්ලටම හේතු වූයේ හාල් මිල වැඩි කිරීමයි.

මේ අවධිය වනවිට ම ප්‍රේමකුමාර එපිටවෙල නම් ප්‍රවීන නර්තනාචාර්යවරයා තම දෙවන ඉඟිනළුව රටවටා පෙන්වමින් තිබිණි. කිසියම් කාරණාවකට රටේ තත්වයත්, ඉඟිනළුවේ නාමයත් එකට ගැලපී තිබිණි.
එපිටවෙලයන්ගේ තිත්ත බත නම් ඉඟිනළුව වේදිකා ගත වුයේ මෙවන් අවධියකය.
“මා මගේ ඉඟිනළුවට නම යොදා තිබුණේ තිත්ත බත යනුවෙනි. හාල් මිල වැඩිවීම නිසා මිනිසුන්ට බත තිත්ත වී තිබුණ බැවින් ද මාගේ ඉඟිනළුවේ නම මහජනයාගේ ඉහළින් සිත් ගත් නමක් විය” යැයි එපිටවෙල මහතා සිය දිවිපවත නම් ස්වයං චරිතාපධානයේ දී කියයි.
තිත්ත බත පබැඳුම ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගෙනි.  තිත්ත බත ඉඟිනළුව සර්වකාලීනය. එහි එන පුවත අදටත් වලංගු වන්නේ පීඩිත පන්තිය මත පැටවුණ බර පිළිබඳ හරය එහි ගැබ් වන බැවිණි.

ගහ කොළ හැම නිල් ගැහුණා - ඇඟ පතටත් පණ ලැබුණා
ආයිත් ගොවිතැනට ගියා - කුඹුරට බැස්සා
වෙල් යායම වැඩ කෙරුණා - ගොයම් පීදිලා පැහුණා
රන්වන් වී කරල් නැමී - හුළඟට වැනුණා

තාලෙට රස ගී කියලා -  ගොයම් කපා ඉවර වුණා
කමතේ වී ගොඩවල් ලඟ - පාවර මැන්නා
අනේ ඉතින් මොකද පුතේ - ඉඩම් හිමියගේ අතටයි
අන්තිමේදී මේ ඔක්කොම - වී ටික ඇදුනේ
කොහොම කළත් දුප්පතාට - කන්නත් නෑ බොන්නත් නෑ
බිම් කෙටුවත් පැල් රැක්කත් - වැඩක් නෑ පුතේ

තිත්ත බත ඉඟිනළුවට බොහෝ තර්ජන ගර්ජන එල්ල විය. ඇතැම් දර්ශන වලට ඇඳිරි නීතිය තහනම් නියෝග ආදිය ද බලපෑහ. එකල ලංකාදීප පුවත්පතේ මැද පිටුවේ දිනපතා විකට කාටූනයක් පළවිය. මේ විකට චිත්‍රය ඇන්දේ චිත්‍ර ශිල්පී ජී. ඇස්. ප්‍රනාන්දුය. තිත්ත බතෙන් කියවෙන එක් අදහසක් ගෙන ඔහු විසින් අඳින ලද විකට චිත්‍රයක් ද එකල පත්‍රයේ පළවී තිබුණේ තිත්ත බත ඉඟිනළුවෙන් ම උපුටාගත් පද කිහිපයක්ද සමඟිනි. ඒ කවිපද දෙක මෙසේයි.

“සත විසිපහකට තිබුණා ඒ කාලෙත් හාල් - ගන්ට
 බැරිව පුතේ පොත උගහට තියන්නට උනා

 හැත්තෑපහට මිල නැගුණා මුදලාලිට බත පැහුනා
 ඉතිං පුංචි පුතේ අපිට තිත්ත බත වුණා” යනුවෙනි

ප්‍රේමකුමාර එපිටවෙලයන් තමාට අවශ්‍ය සියල්ල සිය ඉඩමේ ම නිපදවාගත් අයෙකි. ඔහු විසින් ම වගාකල සහලත්, එළවලුවත් ඔහුගේ බත් පතේ විය. පළතුරු හා ඔහුම දැඩි කළ එළදෙනුන්ගේ කිරි වලින් අවශ්‍යතාවය සරිවිය.

ස්වයං පෝෂිත ස්ව ආර්ථිකයට හිමිකම් කීමට එකළ ද රට අපොහොසත් වී ඇත. මෙකළ ද අපි අපොහොසත් වීමු. සියල්ලන්ම රක්ෂා අතහැර දමා ගොවිතැන් කරන්න යැයි ඉන් කියවෙන්නේ නැත. පවත්නා කෘෂිකර්මාන්තය දියුණූ කරවීමට අවශ්‍ය පහසුකම් රජයෙන් සැපයිය යුතුය. රටසහල් මත යැපෙන්නේ නම් අපටද බත තිත්ත වන දිනක් එලබෙනු ඇත.

1970 දශකයේදී උදාර ගී නම් වැඩසටහනක් ක්‍රියාත්මක විය. ප්‍රේමකුමාර එපිටවෙලයන් සියතින් ලියූ ගීයක් සියතින්ම වියදම් කොට උදාර ගී වැඩසටහනට තැන තැනදී ගායනා කරවීය. එය ප්‍රසිද්ධ ගීයක තනුවට සමානය. මෙම ලිපිය අවසන් කිරීමට එය ඉදිරිපත් කිරීම සුදුසු යැයි මම සිතමි. එම ගීය ඔබට බෙහෙවින් හුරුපුරුදු ගීතයක් මතකයට නංවනු ඇත.
ආදී සිංහලුන්....
පිට දීප දේශ ජයගත්තා
තම රට දේවල් පිටරට පටවා - පිට කාසිය මෙහි ඇද්දා
පිට දීප දේශ ජයගත්තා
කුඹුරට බසිනට හිරිකිත හන්දා - ගොඩ සිට පන්දු ගසන්නා
කුඹුරු ඉඩම් ටික බද්දට දීලා - ඇස්සට දත නියවන්නා
පිට දීප දේශ ජයගත්තා
පිටරට හාලට අත පෑවේ නැත - ආදී අපෙ සිංහලයා
හාල් නැවක් කොළඹට නාවොත් නම් - ඉවරයි අද සිංහලයා
පිට දීප දේශ ජයගත්තා
පෙර අප වතුපිටි  අද වෙයි කෙළිපිටි රුදු අලි කොටි වලසුන්නේ
ඒවා ගම්බිම් නොකරම නිකමුන් - වී ඇයි මේ ළතවෙන්නේ
පිට දීප දේශ ජයගත්තා

සුභාෂිනී පෙරේරා


No comments: