Tuesday, May 16, 2017

ලිය වනාහී....





     කාන්තාව ගැන කතා කිරීම ආන්දෝලනාත්මකය. ලෝකයේ විවිධ කාලවකවානු වල කාන්තාව පිළිබඳ විවිධාකාරයෙන් කතා බහට නැගිණි. කෙසේ වෙතත් අද වන විට කාන්තාව ද පුරුෂයා හා සමානව ජීවත් වන ජෛවීය කොට්ඨාශයක් බව ලොව පුරා විද්වතුන්ගේ මතයයි. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ලෙසින් එය කතා බහට ලක් වේ. සමානාත්මතාවය යන වදන සාපේක්ෂය. ජීව විද්‍යාත්මකව සසඳන විට ගැහැණියත් පිරිමියාත් අතර පැහැදිලි වෙනස්කම් පවතී. ජීව විද්‍යාත්මක වෙනස්කම් මත මේ දෙදෙනාගේ අයිතිවාසිකම් තීරණය වන බව අතීත සමාජයේ මුල් බැසගෙන තිබිණි. එහෙත් නූතන පර්යේෂකයන් මේ දෙස වෙනස් මානයකින් බලන බව පෙනෙයි. එනිසා ස්ත්‍රීයටත් පුරුෂයාටත් හිමිවිය යුත්තේ සමතැන් නොව නිසි තැන් ය. 
     කාන්තාව මේ මේ ආකාරයෙන් සමාජය ඉදිරියේ හැසිරිය යුතුය, පුරුෂයා මෙපරිදි විය යුතුය, යනුවෙන් සංස්කෘතිය විසින් ගොඩනංවන ලද ලිංගික භූමිකා සැලැස්මක් ( sex role plan ) ඇත. එය සමාජමය නිර්මාණයක් වන අතර ජීව විද්‍යාත්මක නොවේ. වර්තමානයේ දියුණු තාක්ෂණය ඇසුරින් ලිංගය වෙනස් කිරීමේ හැකියාවක් ඇත. කාන්තාවකට පුරුෂයකු වීමටත් පුරුෂයෙකුට කාන්තාවක වීමටත් හැකි වන්නේ ලිංග බද්ධ ක්‍රියාවලියෙන් පමණක් නොවේ. ඔහුට හෝ ඇයට තමාට අයත් ලිංගිකත්ව භූමිකාව නමැති වැස්ම පොරවා ගැනීමට ද සිදුවේ. එසේනම් සාම්ප්‍රදායික ලිංග භේදය මත පදනම් වූ පැරණි මතවාදය ප්‍රතික්ෂේප විය යුතුව තිබේ.

     කාන්තාවන් දෙස අප බැලිය යුත්තේ පුරුෂයාට වඩා උසස් ද, පහත් ද යන මානසිකත්වයෙන් නොව, ස්වභාව ධර්මයේ දායාදයක් ලෙසයි. ස්වභාව ධර්මය පවත්වාගෙන යාමට නම් ප්‍රජාව සිටිය යුතුය. ප්‍රජාව පවත්වාගෙන යාමේ දී කාන්තාවන් වැදගත්ම සාධකය වන්නේ  ඇය දරුවන් බිහි කරන බැවිණි.  ලෝකයේ වැඩියෙන්ම ස්වභාවිකව ගබ්සාවට ලක් වන්නේ පිරිමි ළදරුවන් ය. ළදැරියන් උපත ලබන සංඛ්‍යාව විශාල වීමට එය බලපානු ලබයි. ලොව පුරා කාන්තා ජනග්‍රහණය වැඩි වීම කාන්තා ආධිපත්‍යයක් ලෙස වරදවා වටහා ගතයුතු නොවේ. එක් පිරිමියෙකුට තමාට අවශ්‍යය ප්‍රමාණයක් ශුක්‍රාණු නිපදවිය හැකිය. නමුත් කාන්තාවකට එය දැරිය හැක්කේ දස මසකට එක් වරකි. ලෝකය පවත්වාගෙන යාමට ස්වභාව ධර්මයා විසින් ළදැරියන්ගේ කළල නිරුපද්දිතව උපත ලැබීමේ ප්‍රතිශතය ඉහළ නංවා ඇත්තේ එබැවිණි. පුරුෂයන් සංඛ්‍යාව ඉහළ ගොස් කාන්තාවන් සංඛ්‍යාත්මකව අඩු වුවහොත් ජනග්‍රහණ වේගය ඉතාමත්ම අඩු වනු ඇත.

     පුරුෂයා විසින් කාන්තාව ඉතා දුක්ඛදායී තත්ත්වයකට ඇද දමා තිබෙන බව ස්ත්‍රීවාදීන්ගේ අදහසයි. නමුත් ලෝකයේ විවිධ යුග වලදී කාන්තා පුරුෂ භූමිකාව උස් පහත් වෙමින් පැවති බව කිව යුතුය. මානවයා ගෝත්‍රික තත්ත්වයෙන් මිදී, කෘෂිකාර්මික තත්ත්වයට පත් වූ මුල් වකවානුවේ එක් පුරුෂයෙකුට භාර්යාවෝ කිහිපදෙනෙකු විය. ඒ ඒ යුග වල ස්ත්‍රී වර්ගයාගේ සංඛ්‍යාත්මක ඉහලයාම එවැනි සංස්කෘතියක් ඇතිවීමට පාදක වන්නට ඇත. ඊජිප්තියානු කාන්තාව සහමුලින්ම පිරිමියාගේ අතවැසියෙක් නොවූවාය. බැබිලෝනියානු ශිෂ්ඨාචාරයේ කාන්තාවට ආර්ථික හා නීතිමය අයිතිවාසිකම් මෙන්ම දේපල දැරීමේ අයිතිය ද තිබිණි. ඔවුන්ට පූජකවරියන් වීමට ද ඉඩ ප්‍රස්ථාව හිමිවිය. ඇතැන්සයේ දී කාන්තාව පුරුෂයාට වඩා දෙවන ස්ථානයක ලා සැලකූ බව කියැවේ. රෝමයේ කාන්තාව ග්‍රීසියේ කාන්තාවට වඩා ගෞරවය ලදහ. මව විසින් නිවස පාලනය කරන ලදී. වත්මන් බටහිර  කාන්තාව අතිශයින් ලිංගික නිදහසක් ලබයි. පුරුෂාධිපත්‍ය පවතින ඇමෙරිකාවේ පවා කාන්තාවන් විශාල ලිංගික නිදහසක් අත් විඳිනු ලබයි. ඊට හාත්පසින් ම වෙනස් ජීවිත ගත කරන කාන්තාවන් අරාබිකරයේ වෙසෙනු දැකගත හැකිය. පුරුෂයා උසස් යැයි සම්මත වූ යුගවල කාන්තාවට අඩු තක්සේරුවක් ලැබුණ අයුරින් ම, කාන්තාව උසස් වූ සමාජවල පුරුෂයාට ද එම ඉරණම අත්වන්නට ඇති බව අමතක නොකල යුතුය.  එසේ නම් මෙම වෙනස්කම ඇත්තේ ස්ත්‍රී පුරුෂ භාවය තුළ නොව, අප වටා කාලාන්තරයක් තිස්සේ ගොඩ නැගී ඇති සංස්කෘතික රාමුව තුළ ය.


සුභාෂිනී පෙරේරා

No comments: