
ප්‍රවෘත්ති හැරුණුකොට විශේෂයෙන් රූපවාහිනී මාධ්‍ය වල වැඩියෙන්ම දක්නට ලැබෙන්නේ වෙළඳ දැන්වීම්ය. වෙළඳ දැන්වීම් පෙන්වීම අතරතුර ලැබෙන විවේකයට පමණක් ටෙලි නාට්‍යය කැබැල්ලක්, ගීතයක් ප්‍රචාරය වන තරමට මාධ්‍යය වෙළඳ දැන්වීම් වලින් ගහණය. දැන්වීම් වලින් ඔද්දල් වූ ප්‍රේක්ෂක මනස තරමක් හෝ සංසිදවීමට හිනා නාටක වලට හැකියාවක් තිබීම සතුටට කරුණකි. අපට අප ගැනම සිනා සීමට ඒ කතා ප්‍රමාණවත් වන බැවිණි.
ලංකාව බහු සංස්කෘතික රටක් නොවන්නට මාධ්‍ය කර්මාන්තය පාඩු ලබන කර්මාන්තයක් වනු නිසැකය. සංස්කෘතික අලෙවිකරණයෙන් මුදලුත්, ජනතාවත් ඉපයීමට ඔවුන්ට හැකියාව ලැබී තිබේ. ජනවාරියේ පටන් දෙසැම්බර් දක්වා ඕනෑ තරම් සංස්කෘතික උත්සව ඇති නිසා මාධ්‍යයට ගිරවුන් මෙන් කියවීමට දේ තිබේ. ඒ අතරින් පතර කාන්තා දිනය, මැයි දිනය, ඒ දිනය, මේ දිනය ලෙස ජාත්‍යන්තරයෙන් සම්මත සැමරුම් දින ගණනාවක් ඇති හෙයින් මාධ්‍ය ආයතනවල වාර්ශික කාල සටහන පියවා ගැනීමට අවකාශයක් ඇත. මැයි දිනය ගෙවී ගිය ගමන්ම මාධ්‍යයට මතක් වන්නේ වෙසක් ය. මොහිදීන් බෙග් මහතාගේ හඬට එදිනට ඉඩ ලැබේ. ඊලඟට පොසොන්, ඇසළ හා පෙරහැර කිහිපයකින් පසු නත්තලට ද මාධ්‍යයෙන් දින ගනිනු ඇත.
මාධ්‍ය ආයතනයන් හි වාර්ශික වැඩපිළිවෙල මෙසේ ගෙවෙද්දී මාධ්‍යයට අමතක වූ නොයෙක් දෑ තිබෙන බව පෙන්වා දිය යුතුය. බොහෝ නාලිකා වලට රට පුරා බෙදීමට සල්ලි ඇති නමුත් අපේ රට ණය බරින් මිරිකී සිටීම ම පුදුමයට කරුණකි. රුපියලේ අගය අන්තයට ම යද්දී ණය බරින් පීඩිත ජනතාව දෙස ද හැරී බැලිය යුතු වේ. මාධ්‍යයේ කාර්යභාරය නිසි ලෙස ඉටු වනවාද යන්න මෙහිදී විමසිය යුතුය. හරසුන් ලෝකයක සිහින අතර ජනතාව අතරමං නොකළ යුතුය. තිස් වසරක යුද්ධය නිමා කළද ජාතික සංහිඳියාව ඇති කිරීමට නොහැකි වී තිබීම රටකට සුදුසු නොවේ. යම් රටක මාධ්‍යයකින් නිරූපණය වන්නේ ඒ රටේ දේශපාලනික, ආර්ථික සංස්කෘතිය බව නොරහසකි. දිගින් දිගටම ලෝකයාට නිරුවත පෙන්වීමට සැලැස්වීම එතරම් යහපත් නැත. එබැවින් ලාභය ගැන පමණක් නොසිතා රට ගැන සිතන මාධ්‍යයකරුවන් ඕනෑකර තිබේ. සත්ගුණවත් මාධ්‍ය වශයෙන් පෙනී සිටීම පමණක් ප්‍රමාණවත් නොවන නිසාවෙනි.
සුභාෂිනී පෙරේරා
No comments:
Post a Comment