Monday, May 29, 2017

දෙවියන්ගේ දාසිය සොයා ගියෙමි.

(දේවස්ථාන ආශ්‍රිත පූජනීය නාට්‍යාංගනාවන් පිළිබඳ අන්තර් සංස්කෘතික වශයෙන් කරනු ලැබූ අධ්‍යයනයකි)


     දෙවියන් වෙනුවෙන් කැපවුණ ස්ත්‍රීන් පිළිබඳ අධ්‍යයනය කරන විට විශේෂයෙන් හඳුනාගත යුත්තේ දේවදාසීන්ය. දේවදාසි යන පදය ඉන්දියාවේ භාවිත වචනයකි. දෙවියන් වෙනුවෙන් කැපවුණ ස්ත්‍රිය නැතහොත් දේව වෛශ්‍යය යන්න ඉන් අරුත් ගැන්වේ. දේවදාසී නැතහොත් සිද්ධස්ථාන වෙසඟන දෙවියන් සමග විවාහයෙන් බැඳී වෙසෙන්නියකි. ඇයගේ කාර්්‍යයභාරය වූයේ දෙවියන් සහ මිනිසා යන දෙදෙනාටම තම සිරුර පුදමින් නාට්‍යාංගනාවක ලෙස ඔවුන් ප්‍රීණනයට පත් කිරීමයි. ඉන්දියානු දේවස්ථාන ගණිකාව අනික් ගණිකාවන්ගෙන් බොහෝ සෙයින් වෙනස් වේ. ඇය කිසියම් කරුණක්, අභිලාසයක් මුල් කරගෙන දෙවියන් වෙනුවෙන් පූජා කල ස්ත්‍රියක් වේ. ඇය භරත නාට්‍යයම් නමැති නර්තන විලාශය කුඩා වයසේ පටන් පුරුදු පුහුණු විය යුතුය. නිසි වයසට පැමිණි පසු ඇය දෙවියන් හා විවාහ වී දේවස්ථානයේ නර්තන කටයුතු කරමින් වෙසෙයි. ඒ අනුව භාරතීය සාමාන්‍ය ගණිකාවන් හා කාන්තාවන්ට වඩා උසස් තත්වයක් මුල් කාලීනව දේවදාසීන්ට හිමි වූ බව කිවයුතුය.

     දකුණු ඉන්දියානු කුල වාදය ගැන කියවෙන Casts and tribes of south india නමැති ග්‍රන්ථයෙහි  E. Thurston සඳහන් කරන පරිදි “දේවදාසී නාමය ගත් කුලයේ වර්ධනය ක්‍රිස්තු වර්ෂ නවවැනි සියවසේ පමණ පටන් වූ බව සැලකේ. එකී දේවදාසීන්ගේ කාර්්‍යය වූයේ කෝවිල් ආශ්‍රිතව අලංකාර උත්සව වලදී නැටුම් පැවැත්වීමත්, ගව කෙඳි වලින් සැදූ අවන්පත් වලින් දේව ප්‍රතිමා වලට පවන් සැලීමත්ය” ඊට අමතරව පෙරහැර වල නැටීමත් ඔවුන්ට අයත් විය.

     ඉහතින් දක්වන ලද කරුණ 14 වන සියවසේ ලංකාවට පැමිණි ඉබන් බතූතා කරන ප්‍රකාශය සමඟ සංසන්දනය කළ හැකිවේ. “දෙවුන්දර උපුල්වන් දේවාලයේ දෙවියන් ඉදිරියේ පන්සීයක් හින්දු බාලිකාවන් ගී ගයමින් නැටූබව” ඔහු සඳහන් කරයි. දෙවියන්ගේ පිළිරුව අභියස සිට බාලිකාවන් නටන ලද බව ඔහු තව දුරටත් විස්තර කරයි. ඒ අනුව දේවදාසින් ට සමාන සංස්කෘතික කොට්ඨාශයන් ඉන්දියාවට පමණක් ලඝු නොවේ. ලොව පුරා නොයෙක් සංස්කෘතීන් වල දෙවියන් කෙරෙහි කැපවුන ස්ත්‍රීන් දැකගත හැකිවේ. විශේෂයෙන් ග්‍රීක දේව සංකල්පවල වෛශ්‍යයාකර්මය දේව වන්දනාවේ ම කොටසක් විය. ග්‍රීසියේ මිදි ඵලදාවත්, සශ්‍රීකත්වයත්, මෛථූනය හා දෙවියන් අතරත් අන්තර් සබඳතාවයක් පැවතිණි. විශේෂයෙන් මෙබඳු සංසිද්ධීන් ප්‍රධාන වශයෙන් මධ්‍යධරණී ප්‍රදේශ, පූර්ව ආසියාකරය, බටහිර අප්‍රිකාව හා දකුණු ඉන්දියාව පුරා ප්‍රචලිතව තිබු බවට සාධක ඇත.

     ඉන්දියාවේ දේවදාසීන් මුලු ජීවිත කාලයම දෙවියන් වෙනුවෙන් කැපකර දෙවියන්ගේ නමින් පූජකවරුන් හා පූජනීය ස්ථානයේ වන්දනාවේ යෙදෙන පිරිස් සමඟ මෛථුනයේ යෙදෙයි. බැබිලෝනියන්වරු අතර පවතින වීනස් වන්දනාවේ දී රටේ උපදින සෑම ස්ත්‍රියක්ම ජීවිතයේ එක් වරක් වීනස් දෙව්මැදුරේදී වීනස් දෙවඟනගේ නමට එහි එන ආගන්තුකයන් සමඟ විසිය යුතු විය. නමුත් ඒ හැරුණු විට ජීවිතයේ වෙනත් කිසිම අවස්ථාවක අන් පුරුෂයෙකු හා විසීමට ඇයට අවසරයක් හෝ හැකියාවක් නොලැබෙයි. අන්තර් සංස්කෘතිමය වශයෙන් එක් සංස්කෘතියක් තුල පවතින විශ්වාසයන් හා ක්‍රියාකාරකම් තවත් සංස්කෘතියක් කෙරෙහි පැතිර පවත්නා බව මෙහිදී පෙනී යයි.

     ග්‍රීසියේ ද මීට සමාන සංස්කෘතිකාංගයක් හමුවේ. ආලයට අධිපති වූ ඇප්‍රොඩයිට්ගේ නිජබිම ලෙස සලකන ඇතැන්ස් හි වෙසඟන දේවත්වයට නංවා ඇත. ඇප්‍රොඩයිට් දේවස්ථාන ආශ්‍රිතව විශාල වශයෙන් දෙවියන්ගේ වෛශ්‍යාවන් දැකගත හැකි විය. ඔවුන් යන්ත්‍ර මන්ත්‍ර මෙන්ම නර්තනය විශයෙහි ද සමත්කම් දැක්වීය. ඊජිප්තුවේ හා ෆීනිෂියාවේ ද තරුණියන් තම ජීවිතයේ කිසියම් කාල සීමාවක් පූජනීය අභිසරු ලියක් ලෙස විසිය යුතු විය.

     ඇතැම් රටක දේවස්ථාන නාට්‍යංගනාවන් පූජකයන් හෝ වෙනයම් පුද්ගලයන් සමඟ ලිංගික සංසර්ගයේ යෙඳුණු බවට සෘජුව ප්‍රකාශ නොවෙතත්, බොහෝ රටවල දේවදාසීන්ට දෙවියන් සතුටු කිරීම උදෙසා නර්තනයේ යෙදීම අනිවාර්ය අංගයක් විය. නිදසුන් ලෙස ලංකාවත්, නේපාලයත්, ජපානයත් හැඳින්විය හැකිය.  නොයෙක් සංස්කෘතීන් තුල දෙවියන්ගේ දාසිය නමැති සංකල්පය ඒ ඒ සංස්කෘතීන්ට ගැළපෙන ආකාරයෙන් ගොඩනන්වාගෙන සකස්කරවාගෙන ඇති බව ඒ අනුව අධ්‍යයනය කලහැකි වේ. ඒ ඒ රටවල දේවදාසියට පොදුවූ නාමයන් පැවති අතර ඔවුන්ගේ කාර්්‍යය වූයේ දෙවියන් ඉදිරිපිට හා පූජනීය උත්සව වල උත්සවාකාරයෙන් සාමූහිකව නැටීමයි. ලංකාවේ ප්‍රචලිතව පැවති දිග්ගෙයි නර්තනය පිළිබඳ තොරතුරු විමසා බැලීමෙන් එය පැහැදිලි වේ.

     දිග්ගෙයි නර්තනය කාන්තාවන්ටම ආවේණික වූ නර්තන විලාශයකි. අත් හා සිරස චලනය තුලින් සාමූහික චමත්කාරයක් මැවීම දිග්ගෙයි නර්තනයෙන් සිදුකෙරිණි. ඉන්දියාවේ පැවැති දේවදාසි නර්තන ක්‍රමය දිග්ගෙයි නර්තනය බිහිවීම සඳහා බලපෑ බව අන්තර් සංස්කෘතීමය වශයෙන් අධ්‍යයනය කරන විට පෙනෙයි. සමාජ දේශපාලනමය වශයෙන් රටවල් අතර සංස්කෘතික බලපෑම් සිදුවන විට සංස්කෘතිකාංග හා විශ්වාස පද්ධති සංකල්පනාවනගේ මිශ්‍රවීමක් සිදුවීම සංස්කෘතික අධ්‍යයනයේදී නිතැතින්ම දැකගත හැකිවේ.

     දේවදාසී සංකල්පය එකම මූලයකින් ප්‍රබවය ලැබ ලොවපුරා ප්‍රචලිත වී ද යන්න පිළිබඳව මතවාද පවතී. මේ සංස්කෘතිකාංගය ව්‍යාප්තව ඇති සෑම රටකම පාහේ දෙවියන් උදෙසා කැපවුණ ස්ත්‍රිය සලකණු ලබන්නේ සශ්‍රීකභාවයේ සංකේතයක් ලෙසයි. ඒ අනුව නන්විධ සංස්කෘතීන්හිදී විවිධ වෙනස්කම් වලට භාජනය වුවද සශ්‍රීකභාවය පිළිබඳ ගොඩනැගී ඇති පිළිවෙත්හි සාම්‍යයක් දැකගත හැකිය. ඒ වටා ගොඩ නැගුණ දේව සංකල්පය වීනස්, අස්ටාටේ, ඇස්ටොරෙන්, ඉස්තාර්, අයිසිස්, ඇප්‍රොඩයිට්, ශිව යනුවෙන් බටහිර හා පෙරදිග රටවල ගොඩනැගී තිබුණද සෑම තැනකම ඉටු කලේ එකම කාර්යභාරයකි.

     ඇතැම් සංස්කෘතීන් තවත් සංස්කෘතියක් හා අන්තර් සම්බන්තා පැවැත්වීමේ දී, ඇතැම් සංස්කෘතීන් වෙනස් වීමට හා අනෙකුත් සංස්කෘතීන් සමඟ දෝලනය වීමට ප්‍රිය නොකරයි. එහිදී සංස්කෘතික හිදැසක් ඇතීවීම වළක්වාලමින් අන්තර් සංස්කෘතීමය වශයෙන් එක් එක් ජනකොටස් අතර සම්ප්‍රදායන් හා සංකල්පයන් හුවමාරු වේ. ඒ අනුව එම සංස්කෘතීන්ගේ ස්ථායීතාව නිරන්තරව පවත්වාගෙන යාම දැකිය හැකිය. සෑම සංකෘතික අංගෝපාංගයක් ම සක්‍රීයව වෙනස්කමකට භාජනය වේ. දෙවියන් උදෙසා කැපවුණ ජීවිතයක් සහිතව, දෙවියන්ගේ දාසියක් ලෙස ක්‍රියාකිරීම ලොව පුරා රටවල් ගණනාවක දැකගත හැකි වන්නේ ඒ ආකාරයටය. එය අන්තර් සංස්කෘතික වශයෙන් සිදුවුණ ස්ථිතික හා ක්‍රියාශීලී ඩයලෙක්තියකි.

     දෙවියන් වෙනුවෙන් කුඩා වයසෙහි දී පූජා කරනු ලැබූ තරුණියන් එකොළොස් වෙනි වියට එලබෙන තෙක් ශිල්ප හා ප්‍රයෝග උගන්වා,  දෙවියන් සමඟ විවාහ කරවීම දේවදාසිය වීමේ මූලික පිළිවෙතයි. දේවදාසි කුලයේ සම්භවය ක්‍රි. ව. නමවැනි සියවස පමණ තෙක් ඈතට විහිද යන බව සඳහන්වේ. ඉන්දියාවේ පමණක් නොව ග්‍රීසියේ ඇතැන්සය, ෆිනීෂියාව, බැබිලෝනියාව, නේපාලය හා ශ්‍රී ලංකාවේ ද දෙවියන් විෂයෙහි පුද පූජා පවත්වමින් දෙවියන් ඉදිරියේ නර්තනයේ යෙදීමට කැප වූ කාන්තාවන් දැකිය හැකිය. මෙහි විශේෂත්වය වන්නේ ඔවුන් ජීවිතයේ එක් කාල වකවානුවක් හෝ මුලු ජීවිත කාලයම දෙවියන් වෙනුවෙන් කැප වී සිටීමයි.
    
        ඉහත කී එක් එක් රටවල දෙවියන් වෙනුවෙන් කැපවුණ ස්ත්‍රීන් ගේ සමානතා මෙන්ම අසමානතාවන්ද දැකිය හැකිය. ග්‍රීසියේත්, ඉන්දියාවේත් පූජනීය අභිසරුලිය පූජාකර්ම හා ලිංගකර්ම යන ද්විත්වයෙහිම නිරත විය. ලංකාවේ හමුවනුයේ දෙවියන් ඉදිරියේ නර්තනයේ යෙදෙන කුල පරම්පරාවන්ය. මුල් කාලීනව හින්දු පූජා විශේෂයක්ව පැවති ලංකාවේ දිග්ගෙයි නැටුම පසු කාලීනව බෞද්ධ මුහුණුවරකක් ගත් ආකාරය අධ්‍යයනය කිරීමෙන් එය දැකගත හැකිය. නේපාලයේද දෙවියන් ඉදිරිපිට නර්තනයේ යෙදීමට කැපවුණ ස්ත්‍රීන් කන්‍යාවන් ලෙස ජීවිතාන්තය තෙක් සිටියයුතු වූ බව කියැවේ.

ඉතිරි කොටස මීලඟ ලිපියෙන්

අරුත් සුන් වදන් පවසන ගිරව් දොඩමලු


  
     මාධ්‍ය විසින් ජනතාවට තොරතුරු හෙවත් ප්‍රවෘත්ති ගෙනඑන බව සැබෑය. ජනපතිගේ දින චර්යාව, අසුවල් මන්ත්‍රීතුමාගේ මුල් ගල තැබීම, මැති තුමාගේ උපන් දිනය ආදී නොයෙක් තොරතුරු එසැනින් නිවසට ගෙනඑන නාලිකා බොහෝ ගණනක් ඇත. සැනෙන් වැඩ කිරීමේ කලාව පුවත්පතට අහිමි හෙයින් දෝ තවමත් පුවත්පතේ ගුණාත්මකභාවය තරමක් සුරක්ෂිතව ඇත. මාධ්‍යයෙන් රට වටා සිදුවන සිදුවීම් ද නොයෙක් විට පෙන්වනු ලැබේ. අතරින් පතර පෙන්වන උද්ගෝෂණ හැරුණ විට නිවසට පැමිණි දිවියෙක්, කිඹුලෙක්, අලියෙක් ආදිය පෙන්වීමත්, රට වටා හදිසි අනතුරු පෙන්වීමත් මාධ්‍යයේ කාර්යභාරය වී තිබේ.
    
  සිංහල හින්දු අලුත් අවුරුද්ද නිමාවිය. අවුරුද්ද ගෙවුන දා පටන් ම කාගේත් කතා බහට ලක් වූයේ මැයි දිනය සම්බන්ධවය. ඒ කතා බහට වැඩියෙන්ම සහභාගි වූයේ රටේ ජනතාව නොව මාධ්‍යව්‍යාපාර වල යෙදෙන උදවියයි. රටේ ජනතාවගේ කතා බහ වූයේ අවුරුදු කෑ වියදම පිළිබඳව ය. ඉන් බොහෝ දෙනා මැයි පළමුදාව නෑගම් යන දිනය බවට පත්කරගත් අතර මාධ්‍ය මඟින් යුහුසුළු ව දින ගණනාවක සිට දේශපාලන රැලි දිනයට (මැයි දිනයට)  සූදානම් වනු පෙනිණි. මැයි දිනයේ දී කාටත් අමතක වූ පොදු දෙයකි. එනම් සැබෑ කම්කරුවාය. කම්කරුවා තම දෛනික වැටුප ලබා ගැනීමට දහඩිය වගුරවද් දී, කම්කරු දිනය නිමා වෙයි. මගේ උත්සහය රටේ දේශපාලනය පිළිබඳ ව හෝ සමාජ තත්ත්වය පිළිබඳ ව ලිපියක් ලිවීමට නොවේ. මේ ලියන්නේ දේශපාලන සෙල්ලම් පෙන්වන මාධ්‍යයකරණය පිළිබඳව ය.
     ප්‍රවෘත්ති හැරුණුකොට විශේෂයෙන් රූපවාහිනී මාධ්‍ය වල වැඩියෙන්ම දක්නට ලැබෙන්නේ වෙළඳ දැන්වීම්ය. වෙළඳ දැන්වීම් පෙන්වීම අතරතුර ලැබෙන විවේකයට පමණක් ටෙලි නාට්‍යය කැබැල්ලක්, ගීතයක් ප්‍රචාරය වන තරමට මාධ්‍යය වෙළඳ දැන්වීම් වලින් ගහණය. දැන්වීම් වලින් ඔද්දල් වූ ප්‍රේක්ෂක මනස තරමක් හෝ සංසිදවීමට හිනා නාටක වලට හැකියාවක් තිබීම සතුටට කරුණකි. අපට අප ගැනම සිනා සීමට ඒ කතා ප්‍රමාණවත් වන බැවිණි.
    
    ලංකාව බහු සංස්කෘතික රටක් නොවන්නට මාධ්‍ය කර්මාන්තය පාඩු ලබන කර්මාන්තයක් වනු නිසැකය. සංස්කෘතික අලෙවිකරණයෙන් මුදලුත්, ජනතාවත් ඉපයීමට ඔවුන්ට හැකියාව ලැබී තිබේ. ජනවාරියේ පටන් දෙසැම්බර් දක්වා ඕනෑ තරම් සංස්කෘතික උත්සව ඇති නිසා මාධ්‍යයට ගිරවුන් මෙන් කියවීමට දේ තිබේ. ඒ අතරින් පතර කාන්තා දිනය, මැයි දිනය, ඒ දිනය, මේ දිනය ලෙස ජාත්‍යන්තරයෙන් සම්මත සැමරුම් දින ගණනාවක් ඇති හෙයින් මාධ්‍ය ආයතනවල වාර්ශික කාල සටහන පියවා ගැනීමට අවකාශයක් ඇත.  මැයි දිනය ගෙවී ගිය ගමන්ම මාධ්‍යයට මතක් වන්නේ වෙසක් ය. මොහිදීන් බෙග් මහතාගේ හඬට එදිනට ඉඩ ලැබේ. ඊලඟට පොසොන්, ඇසළ හා පෙරහැර කිහිපයකින් පසු නත්තලට ද මාධ්‍යයෙන් දින ගනිනු ඇත.
    
    මාධ්‍ය ආයතනයන් හි  වාර්ශික වැඩපිළිවෙල මෙසේ ගෙවෙද්දී මාධ්‍යයට අමතක වූ නොයෙක් දෑ තිබෙන බව පෙන්වා දිය යුතුය. බොහෝ නාලිකා වලට රට පුරා බෙදීමට සල්ලි ඇති නමුත් අපේ රට ණය බරින් මිරිකී සිටීම ම පුදුමයට කරුණකි. රුපියලේ අගය අන්තයට ම යද්දී ණය බරින් පීඩිත ජනතාව දෙස ද  හැරී බැලිය යුතු වේ. මාධ්‍යයේ කාර්යභාරය නිසි ලෙස ඉටු වනවාද යන්න මෙහිදී විමසිය යුතුය. හරසුන් ලෝකයක සිහින අතර ජනතාව අතරමං නොකළ යුතුය. තිස් වසරක යුද්ධය නිමා කළද ජාතික සංහිඳියාව ඇති කිරීමට නොහැකි වී තිබීම රටකට සුදුසු නොවේ. යම් රටක මාධ්‍යයකින් නිරූපණය වන්නේ ඒ රටේ දේශපාලනික, ආර්ථික සංස්කෘතිය බව නොරහසකි. දිගින් දිගටම  ලෝකයාට නිරුවත පෙන්වීමට සැලැස්වීම එතරම් යහපත් නැත.  එබැවින් ලාභය ගැන පමණක් නොසිතා රට ගැන සිතන මාධ්‍යයකරුවන් ඕනෑකර තිබේ.  සත්ගුණවත් මාධ්‍ය වශයෙන් පෙනී සිටීම පමණක් ප්‍රමාණවත් නොවන නිසාවෙනි.

 සුභාෂිනී පෙරේරා







Monday, May 22, 2017

නිරවි සිහිනය

                           



     නිර්මාණකරුවෙකු ස්වකීය චිත්ත සන්තානය තුළ ඇතිවන භාවවේශයන් තම නිර්මාණකාර්ය සඳහා යොදාගන්නේ වඩාත් සියුම් ආකාරයෙනි. සහෘද හදවත් ඇත්තෝ එය විඳගන්නේ ද නිර්මාණකරුවාගේ දෘෂ්ටියට වඩ වඩාත් සමීපවීමට උත්සහ දරමිනි. එසේ ඒකාත්මික නොවූ තැන්හි දී නිර්මාණයක සැබෑ රසය විඳගත නොහේ. එය වඩාත් සපථ වන්නේ රසිකයන්ගේ නන්විධ මිනුම්දඬු උපයෝගයෙන් නිර්මාණයක අංග උපාංග ගලවා බලනවිට ය. විරෝධාකල්ප ගී සම්බන්ධයෙන් ද කිවයුත්තේ එයමය. 

     පද රචකයාට නිරන්තරයෙන් වස්තුවිෂය වන්නේ තම සමාජයයි. ඔහු විසින් තමා විඳගන්නාවූ භාව, ආවේග, චේතනා, ශෝකාලාපාදිය මෘදු හෝ රඵ ගුණයක් බවට පත් කොට ඉදිරිපත් කරනු ලබයි. එක් අයෙක්ගේ වේදනාව, ආත්මීය ප‍්‍රකාශනය තවත් අයෙකුට විරෝධාකල්පයක් ලෙස පෙනීයාමට පුඵවන. එවන් ආත්මීය ප‍්‍රකාශන හා සමාජ විවරණ රැුගත් ගීත බහුතරයක් විරෝධාකල්ප යැයි ලේබල් කර ඇති බවට පද රචකයෝ සුසුම් ලති. එබැවින් ගීතයක රස නියමාකාරයෙන් විඳගැනීමට නම් රචකයාගේ අනුභූතිය සමඟ ඒකාත්මික වීම කළ යුතුය. එවිට සමස්ථ සමාජය හෝ එක්තරා කොටසක් පමණක් නොව, මුළු මහත් මනුෂ්‍ය වර්ගයාගේම ආධ්‍යාත්මය ඉන් විරෝධයට ලක්වන බව පෙනී යයි.
    මෙහිදී මා වස්තුවිෂය කරගනු ලබන්නේ ද විරෝධාකල්ප ගීයක් ලෙස හඳුන්වනු ලැබූූ, ලාංකාවේ වාර්ගික යුධ සමය පැවති වකවානුවේ නිර්මාණය වූ  ගීතයකි. ගේය පදරචක රත්න ශ්‍රී විජේසිංහයන්ගේ අපුර්ව පද සංකල්පනාවට ස්වර මුසුව සිදුකලේ මාස්ටර් නමින් අප හඳුනන ප්‍රේ‍්‍රමසිරි කේමදාසය ශූරීන්ය. ගීතයේ ශෝකාලාපී ස්වර මුසුවට උචිත හඬ මුසුකරන්නේ විශාරද රශ්මි සංගීතා විසිනි. ගීතය එළි දකින්නේ 1994 වර්ශයේ නිරවි සිහිනය නම් කැසට් පටයෙනි.  ගීතයේ පද සංකල්පනාවත්, සංගීතයත්, ගායනයත් යන ත‍්‍රිත්වයම මනා භාවපූර්ණ ගුණයකින් යුක්තය. 

මන්නාරම් කන්‍යාරාමේ ඇරිලා
වැලි පාරේ මං ආවා  
පේසාලෙයි හන්දිය ලඟ
කනේරු මල් ගහ පාමුල 
ඔබ පරවී වැටිලා 
පපුවෙන් ලේ ගැලූවා 



ඔබ නැතිව ගියේ මටමයි 
මේ රටට නොවෙයි 
මහපොළවට මිස මිනිස් කමට 
පෙම් නොකරන රටට නොවෙයි
නැඟිටින්න එපා... නැගිට කොහේ යන්නද අපි
ඉතින් කෝවලන්... ඉතින් කෝවලන්... 



ගිනි ලන්න රටක් නෑ 
රට ගිනිගෙන ඉවරයි
මේ සොහොන් බිමේ දිනෙන් දින 
පස්කඳු වැඩිවෙයි
නැගිටින්න එපා... නැගිට කොහේ යන්නද අපි
ඉතින් කෝවලන්... ඉතින් කෝවලන්... 



මන්නාරම් කන්‍යාරාමේ ඇරිලා........

     රචකයා මෙම ගීතයෙන් අප ඉදිරියේ මවන්නේ මනස්කාන්ත පරිසරයක් නොවේ. ගීතයේ පළමු පද පෙළ අසනවිටම පේ‍්‍රක්ෂක චිත්ත සන්තානයේ වියළි, කර්කශ වැලි පොළොවක් සිතුවම් වේ. කරවුන සුලඟ, දහදිය ගලන අවුරශ්මිය රචකයා විසින් පදරචනයට නොනැගුවද මන්නාරම් පොළොව අත්විද ඇති අයෙකුට නම් එය නිතැතින් මතකයට නැගෙනු ඇත. කන්‍යාරාමය ඇරී නික්මෙන යුවතිය එන්නේ මෙවන් වැලි පාරක ය. පපුුවේ වෙඩි කෑ තරුණයකු ඇගෙන් ගිලිහී යයි. වයලීනය සමඟ මුසුවන රශ්මි සංගීතාගේ හඬින් මැවෙන්නේද ශෝකී ස්වරයකි. ඇගේ ස්වරය පළමු පද පෙලේ මන්ද්‍ර ස්වරයෙන් ඇරඹී, අවසන් වචනය වන විට වඩාත් උච්චස්ථානයක් ගෙන යාමට මාස්ටර් විසින් තීරණය කරයි. රචකයා මතුපිට අර්ථයෙන් නොකියවෙන අනුවේදනීය කතාවක් පදරචනය තුළින් යථාර්ථයක් කොට දක්වන්නේය.

පේසාලෙයි හන්දිය ලඟ
කනේරු මල් ගහ පාමුල 
ඔබ පරවී වැටිලා 
පපුවෙන් ලේ ගැලූවා 

     කනේරු මල් මරණයේ සංකේතයක් බඳුය. නමුත් ඉන් ඔබ්බට විහිදෙන සියුම් අර්ථයක් එහි ගැබ් වන්නේය. මේ ගීතයෙන් කියවෙන මන්නාරම පරිසරය රචකයා මතු කරන්නේ වැලිපාරත්, කනේ්රු මල්ගසත් යන ද්විත්වයෙන් පමණි. මේ එකකට එකක් නිස්සාරය. කනේරු මල් දැකීමට පි‍්‍රය උපදවන්නක් නොවේ. එහි කිසියම් ගූඪ බවක් විද්‍යාමාන වේ. සැබැවින්ම එය ජීවයෙන් ගිලිහුණ පරිසරයකි. 

     ගීතයේ් දෙවන පදපෙළ තුළින් රචකයා මෙහි කිසියම් සංදිස්ථානයක් ඉස්මතු කරයි. මේ තරුණියත් මියගිය තරුණයාත් හුදු අපට නිරන්තරයෙන් හමුවන්නාවූ යුවලක් නොවේ. ඒ බව රත්ත ශී‍්‍ර විජේසිංහයන් පද රචනයට නගන්නේ වඩාත් ප‍්‍රබල ආකාරයෙනි. තරුණයාගේ මරණය මෙතැන් පටන් සාමාන්‍ය මරණයක් නොවන්නේ ය.

ඔබ නැතිව ගියේ මටමයි 
මේ රටට නොවෙයි 
මහපොළවට මිස මිනිස් කමට 
පෙම් නොකරන රටට නොවෙයි
     ඔහු මෙතැන් පටන් වාර්ගික යුද්ධය හමුවේ මරණයට කැපවූවෙකු වන්නේය. යුද්ධයෙන් දෙපාර්ශවයේම දහස් සංඛ්‍යාත ජනයා නිරපරාදයේ අහිමි විය. ඒ අහිමිවීමේ වේදනාව වැඩියෙන් දැනෙනුයේ බැඳීම් සමඟ තනිවුවන්ටය. ඔහු නැතිවීමේ පාඩුව ඇය තද සිතින් විඳ දරාගනනු ලබයි. නමුත් ඇගේ සිත තුළ නැගෙන ද්්වේෂය යටපත් නොවෙයි. ඇගේ ද්වේෂයට හසුවන්නේ ඔහුු මරාදැමූ අය නොවේ. භූමියට හිමිකම් කීමට වාර්ගික යුද්ධයේ දෙඅන්තයටම උවමනාවිය. ඔවුන් මහපොළොව සතු කරගැනීමේ චේනතාවෙන් මිස, මිනිස්කමේ චේතනාවෙන් අරගල නොකළ බවට ඇය දෝෂාරෝපණය කරයි. 

     ඇගේ මේ විරෝධාකල්පය වාර්ගිකත්වයේ එක් අන්තයකට සීමා නොවන්නේය. භූමිය ඉල්ලා යුධකල වුන් මෙන්ම, භූමිය රැුක ගැනීමටද යුද්කල උන්ටද අමතකවීගිය යමක් ඇය මතක් කරයි. එනම් ඔවුන්ගේ වුමනාවන් මහපොළවේ අයිතිය බෙදාගැනීමට මිස මිනිසත්භාවය පිණිස නොවන බවය. රචකයා මින් වාර්ගිකත්වය හමුවේ කුණුවුන ආධ්‍යාත්මයෙන් යුතුව, රටේ අයිතිය පිළිබඳ බලාපොරොත්තුවෙන් ලේ වැගිරීම් දෙස නිශ්ෂබ්ද මුඛයෙන් බලාසිටි අප වැන්නවුන්ගේ හෘද සාක්ෂියට පහර ගසයි. එබැවින් මේ ගීතයෙන් විරෝධය පාන්නේ එක් පාර්ශවයකට නොව, සමස්ත මනුෂ්‍යය වර්ගයාට ය. 
     ගීතයෙන් මුලින් නොකියවුණ යමක් මෙම පදපෙළ ඇසීමෙන් මනසට නැගෙන්නේය. එනම් ගීතයට පසුබිම වූ මන්නාරම් නගරය පිළිබඳව ය. ගීතය ලියවුණ වර්ශය හා පසුබිම වනවිට මන්නාරම යනු වාර්ගික යුද්ධයේ අතරමැදි නගරයකක් විය. විශේෂත්වය නම් එහි සිංහල, දෙමළ, මුස්ලිම් මෙන්ම විවිධ ජාතීන් වාසය කිරීමයි. ගීතයේ තරුණියත් තරුණයාත් සම්බන්ධ සමාස්තාර්ථය වටහා ගැනීමේ දී පදරචකයා රසිකයා ඉදිරිපිට හිදැසක් තබයි. එමඟින් මෙම ගීතය මුළුමහත් සමාජයටම පොදු බවක් ප‍්‍රකට කරයි.
     මෙම ගීතයේ සංගීතයෙන් වෙන්ව ගීතයේ සමස්තාර්ථය විඳගත නොහැකිය. කේමදාස මාස්ටර් මෙහි සංගීත නිර්මාණයට කිසියම් ආභාසයක් රාගධාරී සංගීතයේ එන තෝඩි රාගයෙන් ලබාගත් බව පෙනෙයි. එහි නාද රසයත්, රිද්මයත් හද බර කරවන සුළුවේ. ගායනයේ විලාසයත්, රශ්මි සංගීතාවන්ගේ කටහඩත් මවන්නේ දෙමළ උච්ඡුාරණ විලාසයකි. ගීතයේ ගායනය කර්ණාටක විලාසයට තරමක් නැඹුරුය. ඉතා සංයමයෙන් සවන්දෙන්නේ නම් ගීතයේ අර්ථයත්, සංගීතයත් එකතු වූ තැන මැවෙන්නේ හිස් ලූ ලූ අත සැරිසරන මනූෂ්‍යය විලාසයකි.  
      යුද්ධයේ බිහිසුණු බව වැඩිවෙත්ම බියෙන් පිරි හැඟීමක් පැතිරිණි. ඒ පාර්ශවයටත්, මේ පාර්ශවයටත් එල්ල කරගත් දෝෂාරෝපණ විනා යුද්ධයේ ගිනි නිවීමට මැදිහත්වූවෙකු නොවීය. ඉන් සිදු වූයේ අතරමැදි මිනිස් ජීවත දහස් ගණනින් සමුහ මිණීවලවල් වල මිහිදන් වීම පමණි. මෙහි දොස් පැවරිය යුත්තේ කාටද ? මීලඟ පදවැලෙන් රචකයා තමාගේ සිත තුළ නැගෙන එවන් සිතුවිලි තරුණියේ මුවට නන්වයි. ඒ

ගිනි ලන්න රටක් නෑ 
රට ගිනිගෙන ඉවරයි
මේ සොහොන් බිමේ දිනෙන් දින 
පස්කඳු වැඩිවෙයි

     යනුවෙනි. මෙය තරුණියගේ මුවට එක් කළ රත්න ශී‍්‍ර විජේසිංහයන්ගේ චින්තාවන්ය. මානව සමාජය නව ජීවන දෘෂ්ටියක් වෙත ගෙනයාමට මෙම ගීතය සමත්කම් දක්වා ඇත. වාර්ගික යුද්ධය හමුවේ අනාථ වුණ මිනිස් සිතිවිලි  බලාපොරොත්තුවක ශේෂමාත‍්‍රයක් හෝ නොමැතිව සිඳීයන බව රත්න ශී‍්‍ර විජේසිංහයන් මෙම ගීතයෙන් කියයි. ඔහු එය ගීතයට නගන්නේ වඩාත් තීව‍්‍ර හා සංවේදී ආකාරයෙනි. 
නැඟිටින්න එපා... නැගිට කොහේ යන්නද අපි
ඉතින් කෝවලන්... ඉතින් කෝවලන්... 
     
     සිතට කාවැදුන බැඳීම්වල අවසානක් දැකීමට කිසිවෙකුත් අකමැතිවේ. අහිමිවීම හමුවේ මතු මතුත් හිමිවීම ප‍්‍රාර්ථනා කිරීම මනුෂ්‍යය ස්වභාවයක් වී ඇත්තේ ඒ නිසාවෙනි. යතාර්ථය කුමක් වුවද මරණයෙන් වෙන්වූ අයෙකුට නැවත ජීවිතය ලද හැකිනම් එය සැපතක් ලෙස සළකන්නට සමාජය හුරුව ඇත. පදරචකයා එහිදී අපට කන්නගී කෝවලන් කතාව මතක් කරයි. කන්නගී යදින්නේ තමාට අහිමු වූ පුරුෂයා යලි ලබා ගැනීමටය. කෝවලන් මරණයෙන් නැගිටුවා ගැනීමට පතිනිය කළ වෙහෙස ජාති භේදයකින් තොරව සැමගේම හදවතෙහි තැම්පත්ව ඇති කතාවකි. නමුත් මෙහි එන තරුණිය තමාගෙන් වෙන් වූ පි‍්‍රයයාට පවසන්නේ යලි නැගිටින්න එපා යනුවෙනි. ඇයටත් ඔහුට මෙන්ම ජීවත්වීමෙන් තවත් ලද හැක්කක් නොමැත. යුද්ධය හමුවේ සියල්ල නිදහසින් තොර වූ බව ඇයට සිතෙයි. ඇයටත්, ඔහුටත් නිදහසේ විසීමට ලොවක් නොමැති තැන, අධ්‍යාත්මය හිස් වූ මිනිසුන් සිටින තැන, යලි නැගිටීමෙන් ඇති පලය කුමක්දැයි ඇය  අසන්නේ එබැවිනි. ඉතින් කෝවලන්... මෙහි ජීවත් වීමට වඩා මරණය සැපක් වනු ඇත.

සුභාෂිණී පෙරේරා








Tuesday, May 16, 2017

ලිය වනාහී....





     කාන්තාව ගැන කතා කිරීම ආන්දෝලනාත්මකය. ලෝකයේ විවිධ කාලවකවානු වල කාන්තාව පිළිබඳ විවිධාකාරයෙන් කතා බහට නැගිණි. කෙසේ වෙතත් අද වන විට කාන්තාව ද පුරුෂයා හා සමානව ජීවත් වන ජෛවීය කොට්ඨාශයක් බව ලොව පුරා විද්වතුන්ගේ මතයයි. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ලෙසින් එය කතා බහට ලක් වේ. සමානාත්මතාවය යන වදන සාපේක්ෂය. ජීව විද්‍යාත්මකව සසඳන විට ගැහැණියත් පිරිමියාත් අතර පැහැදිලි වෙනස්කම් පවතී. ජීව විද්‍යාත්මක වෙනස්කම් මත මේ දෙදෙනාගේ අයිතිවාසිකම් තීරණය වන බව අතීත සමාජයේ මුල් බැසගෙන තිබිණි. එහෙත් නූතන පර්යේෂකයන් මේ දෙස වෙනස් මානයකින් බලන බව පෙනෙයි. එනිසා ස්ත්‍රීයටත් පුරුෂයාටත් හිමිවිය යුත්තේ සමතැන් නොව නිසි තැන් ය. 
     කාන්තාව මේ මේ ආකාරයෙන් සමාජය ඉදිරියේ හැසිරිය යුතුය, පුරුෂයා මෙපරිදි විය යුතුය, යනුවෙන් සංස්කෘතිය විසින් ගොඩනංවන ලද ලිංගික භූමිකා සැලැස්මක් ( sex role plan ) ඇත. එය සමාජමය නිර්මාණයක් වන අතර ජීව විද්‍යාත්මක නොවේ. වර්තමානයේ දියුණු තාක්ෂණය ඇසුරින් ලිංගය වෙනස් කිරීමේ හැකියාවක් ඇත. කාන්තාවකට පුරුෂයකු වීමටත් පුරුෂයෙකුට කාන්තාවක වීමටත් හැකි වන්නේ ලිංග බද්ධ ක්‍රියාවලියෙන් පමණක් නොවේ. ඔහුට හෝ ඇයට තමාට අයත් ලිංගිකත්ව භූමිකාව නමැති වැස්ම පොරවා ගැනීමට ද සිදුවේ. එසේනම් සාම්ප්‍රදායික ලිංග භේදය මත පදනම් වූ පැරණි මතවාදය ප්‍රතික්ෂේප විය යුතුව තිබේ.

     කාන්තාවන් දෙස අප බැලිය යුත්තේ පුරුෂයාට වඩා උසස් ද, පහත් ද යන මානසිකත්වයෙන් නොව, ස්වභාව ධර්මයේ දායාදයක් ලෙසයි. ස්වභාව ධර්මය පවත්වාගෙන යාමට නම් ප්‍රජාව සිටිය යුතුය. ප්‍රජාව පවත්වාගෙන යාමේ දී කාන්තාවන් වැදගත්ම සාධකය වන්නේ  ඇය දරුවන් බිහි කරන බැවිණි.  ලෝකයේ වැඩියෙන්ම ස්වභාවිකව ගබ්සාවට ලක් වන්නේ පිරිමි ළදරුවන් ය. ළදැරියන් උපත ලබන සංඛ්‍යාව විශාල වීමට එය බලපානු ලබයි. ලොව පුරා කාන්තා ජනග්‍රහණය වැඩි වීම කාන්තා ආධිපත්‍යයක් ලෙස වරදවා වටහා ගතයුතු නොවේ. එක් පිරිමියෙකුට තමාට අවශ්‍යය ප්‍රමාණයක් ශුක්‍රාණු නිපදවිය හැකිය. නමුත් කාන්තාවකට එය දැරිය හැක්කේ දස මසකට එක් වරකි. ලෝකය පවත්වාගෙන යාමට ස්වභාව ධර්මයා විසින් ළදැරියන්ගේ කළල නිරුපද්දිතව උපත ලැබීමේ ප්‍රතිශතය ඉහළ නංවා ඇත්තේ එබැවිණි. පුරුෂයන් සංඛ්‍යාව ඉහළ ගොස් කාන්තාවන් සංඛ්‍යාත්මකව අඩු වුවහොත් ජනග්‍රහණ වේගය ඉතාමත්ම අඩු වනු ඇත.

     පුරුෂයා විසින් කාන්තාව ඉතා දුක්ඛදායී තත්ත්වයකට ඇද දමා තිබෙන බව ස්ත්‍රීවාදීන්ගේ අදහසයි. නමුත් ලෝකයේ විවිධ යුග වලදී කාන්තා පුරුෂ භූමිකාව උස් පහත් වෙමින් පැවති බව කිව යුතුය. මානවයා ගෝත්‍රික තත්ත්වයෙන් මිදී, කෘෂිකාර්මික තත්ත්වයට පත් වූ මුල් වකවානුවේ එක් පුරුෂයෙකුට භාර්යාවෝ කිහිපදෙනෙකු විය. ඒ ඒ යුග වල ස්ත්‍රී වර්ගයාගේ සංඛ්‍යාත්මක ඉහලයාම එවැනි සංස්කෘතියක් ඇතිවීමට පාදක වන්නට ඇත. ඊජිප්තියානු කාන්තාව සහමුලින්ම පිරිමියාගේ අතවැසියෙක් නොවූවාය. බැබිලෝනියානු ශිෂ්ඨාචාරයේ කාන්තාවට ආර්ථික හා නීතිමය අයිතිවාසිකම් මෙන්ම දේපල දැරීමේ අයිතිය ද තිබිණි. ඔවුන්ට පූජකවරියන් වීමට ද ඉඩ ප්‍රස්ථාව හිමිවිය. ඇතැන්සයේ දී කාන්තාව පුරුෂයාට වඩා දෙවන ස්ථානයක ලා සැලකූ බව කියැවේ. රෝමයේ කාන්තාව ග්‍රීසියේ කාන්තාවට වඩා ගෞරවය ලදහ. මව විසින් නිවස පාලනය කරන ලදී. වත්මන් බටහිර  කාන්තාව අතිශයින් ලිංගික නිදහසක් ලබයි. පුරුෂාධිපත්‍ය පවතින ඇමෙරිකාවේ පවා කාන්තාවන් විශාල ලිංගික නිදහසක් අත් විඳිනු ලබයි. ඊට හාත්පසින් ම වෙනස් ජීවිත ගත කරන කාන්තාවන් අරාබිකරයේ වෙසෙනු දැකගත හැකිය. පුරුෂයා උසස් යැයි සම්මත වූ යුගවල කාන්තාවට අඩු තක්සේරුවක් ලැබුණ අයුරින් ම, කාන්තාව උසස් වූ සමාජවල පුරුෂයාට ද එම ඉරණම අත්වන්නට ඇති බව අමතක නොකල යුතුය.  එසේ නම් මෙම වෙනස්කම ඇත්තේ ස්ත්‍රී පුරුෂ භාවය තුළ නොව, අප වටා කාලාන්තරයක් තිස්සේ ගොඩ නැගී ඇති සංස්කෘතික රාමුව තුළ ය.


සුභාෂිනී පෙරේරා

Friday, April 7, 2017

දෙවියන් කොහිද ?



     දෙවියන් යනු මිනිස් චෛතසිකයේ පහල වූ දැවැන්තම සංකේතය (symbol) බව කිවහැකිය. මිනිසා විසින් නිිර්මාණය කල දෙවියන්ම, මිනිසාගේ නිර්මාපකයා ලෙස හැඳින්විය. ඇතැම් යුග වලදී මිනිසා සහමුලින්ම වසඟයට ගන්නට දෙවියන් සමත්විය. මේ මහා සංකේතය තරම් වෙනස් කිරීමට අකමැති යමක් නොවන්නේ දෙවියන් වටා ගොඩනැගුණු අසීමිත බලාරෝපණයත්, මිනිසා තුළ අවිඥානිකව ගොඩනැගී ඇති බියත් හේතු කොටගෙනය.



     මානව චර්යාවේ සෑම අංගයක්ම දේව සංකල්පයක් සමඟ ඈදී ඇති බව සියුම්ව විමසා බලන විට පෙනේ. දෙවියන් පිළිබඳ සංකල්පයන් කවදා පහළ වූවාදැයි නිශ්චිතව කිව නොහැකිය. දෙවියන් පිළිබඳ සංකල්පයන්ට පළමුව යකුන් පිළිබඳ අදහස් මිනිසා තුළ පහල වූ බව මානව විද්‍යාඥයින්ගේ මතයයි. මිනිසාගේ සම්භවය පිළිබඳ ඒ ඒ දේවවාදී සංකල්ප තුළ ගොඩනැගී ඇති ප‍්‍රවාදයන් තිබේ. මිනිසාගේ සම්භවය පිළිබඳ සඳහන් කරන තැන්හි දී, දෙවියන් පිළිබඳවද නිතරඟයෙන් කියැවිනි. එනිසා දේවෝත්පත්තියත්, මිනිසාගේ උප්පත්තියත් පිළිබඳ අපට එක්ව කථා කරන්නට සිදුවී තිබේ. විශ්ව නිර්මාණය පිළිබඳ මිනිිසා තුළ වූ කුහුල මේ උත්පත්ති කථා තුළින් අරුත් ගන්වයි. එපමණක් නොව  මැවුම්කාර බලවේගය ලෙස ඇතැමුන් අර්ථ දක්වන්නේද, දෙවියන් ලෙස අර්ථ දක්වන්නේද ස්වභාවධර්මය තුළ ඇති උත්පාදන ශක්තිය යැයි සියුම්ව විමසන විට හැඟීයයි. මිනිසාට තේරුම්ගත නොහැකි වූ බලවේගයන් කැටිව තිබුනේ ස්වභාවධර්මය වටාය. එබැවින් දෙවියන් යනු ස්වභාවධර්මය වර නැගීමක් බඳුවිය.

                                                                
     දෙවියන් පිළිබඳ ඇතැම් සංකේත පැලියෝතිලික යුගයේ එනම් පුරාණ පාෂාණ යුගයේ දී හමුවේ. විශ්වාස, මන්ත‍්‍ර ක‍්‍රම, ඉන්ද්‍රජාල ආදිය ආදී මිනිසා තුළ පහල වී තිබුණු බවට වැදගත් සාධකයක් ට‍්‍රවාෆෙරේ හා ආරිග් ගුහා සිතුවම් අතර හමුවෙයි. මෙම සිතුවම නැටුම් විලාසයක් පෙන්වයි. ඒ රුවට මිනිස් මුහුුණක්, බකමුණෙකුගේ නෙත් හා සිරසේ ගෝන අං තට්ටුවකි. කන් දෙක වෘකයෙකුගේය. නිය සිංහයෙකුගේය. වලිගය අශ්වයකු වැනිය. ඇතැමුන් දක්වන මතය නම් මෙම සිතුවමෙන් සතුන්ට අධිපති දෙවියෙකු අර්ථවත් වන බවයි. තවත් සමහරුන් කියන්නේ දඩයම වැඩිකිරීම උදෙසා මෙසේ සැරසුන මන්ත‍්‍රකරුවෙකුගේ කි‍්‍රයාව මින් සිතුවමට නංවා ඇති බවය. මෙම සිතුවම ඇත්තේ ලඟා වීමට අපහසු උස්තැනක වීම හේතුවෙන් ඊට යම් පාරිශුද්ධත්වයක් එක් කිරීමට උත්සහ දෑරූ බව ඔවුන් වැඩි දුරටත් කියයි.


     පුරා විද්‍යාඥයින් විසින් සොයාගෙන ඇති සාක්ෂි අනුව මව් දෙවඟන පිළිබඳ ඇදහීම් සංකේත බොහෝ රටවලින් හමු වී තිබේ. මාතෘත්වය, සශි‍්‍රකත්වය, ගොවිතැන, උත්පාදනගුණය ඉන් අර්ථවත් කෙරිණි. මෙවැනි සංකල්පයන් මිනිසාගේ ආධ්‍යාත්මය තුළ වැඩි දියුණු වූ අධි පුද්ගල චෛතසිකයන් ලෙස දැක්විය හැකිය. කෙසේ වෙතත් දෙවියන්් වටා ගොඩනැංවී ඇත්තේ අසීමිත බලයකි. දෙවියන් නොමැති තැනක් මිහිමත සොයාගත නොහැකිය. මිනිසාගේ මනසට හසුවන සෑම අස්සක් මුල්ලක් නෑරම දෙවියන් වෙසෙයි. දෙවියන් අදෘෂ්‍යමානයැයි කියන්නේ මනැසට පමණක් ගෝචර වන නිසාවෙන් යැයි කිවහැකිය. මිනිසාගේ සහජ සාමූහික ගුණය මෙන් දෙවියාටද තනිව විසිය නොහැකි විය.



සෑම රටකම පාහේ දේව සමුහයක්, මණ්ඩලයක් නිරමිතව ඇති අයුරු දැකගත හැකිය. දෙවියන් වෙසෙන්නේ දිව්‍යලෝකයේ යැයි කියයි දෙවියන්ද, දේවතාවතාවියන්ද පවුල් දරු දැරි සම්බන්ධතාවල රසපහස විදිමින් විරාජමාන වෙයි. වඩාත් විචිත‍්‍ර දේවකතා ගී‍්‍රසියේත්, භාරතයේත් දැකගත හැකිය. ඒ මහා ශිෂ්ඨාචාර යුග්මයේ බලපෑම අඩු වැඩි වශයෙන් පර්යන්ත රාජ්‍යන්ටද බලපා ඇත. දේවකතා විමසන විට මනුෂය ලෝකයට බට දෙවිවරුන් මනුෂයින්ට දාව ලෑබූ දෙව්පුතුන් මෙන්ම සුරා සුර යුද්ධයන් පිළිබඳ ද වෙයි. සුරාසුර යුද්ධයේ අතර මැදිකරුවන් වීමට සිදුවූයේ මනුෂ්‍යලෝකවාසීන්ටය. ගී‍්‍රසියේත්, භාරතයේත්, දේවකතාවල ඉතා ගැඹුරු සමානකම් දැකිය හැකිය. දේව සංකල්පය එකම මූලයකින් බිඳී විසිර යන්නට ඇතැයි එමඟින් සිතන්නට තුඩුදෙයි.



ගී‍්‍රක ඇපලෝ දෙවියා දෙව්ධිපති සෙවුස් සහ ලීටෝ ගේ පුතුය. අර්ටෙමීස් නම් දෙවඟන ඔහුගේ සොයුරිය යැයි සැලකේ. අපලෝ දිවාකලට අධිපති සුර්්‍යයා යැයි සංකේතවත් කරයි. අර්ටෙමීස් රාතී‍්‍රයට අධිපතිනියය. භවභෝගාදිය හිමෙන් හා වසංගත ආදියෙන් ආරක්ෂාකර දෙන්නේ අපලෝ ය. අපලෝ සංගීීත ලෝලී අතිශයින් සුරූපී දෙවියෙකු ලෙස මූර්තිමත් කොට තිබේ. භාරතීය සංකල්පයන්හි හමුවන විශ්ණු දෙවියා අපලෝට අතිශයින් සමානකමක් දක්වයි. අර්ටෙමීස් යුද්ධයට අධිපති ලෙසද සළකයි. ගව බැටළු රැුළට හා වන දඩයමට අධිපති වන්නේද ඇයයි. අතීනා දෙවඟන  අතීන පුරයේ ඉෂ්ට දේවතාවිය ලෙස සළකයි. ඇතැන්සයට එම නම් ලැබූනේ ඇගෙනි. ඇය යුද්ධයට ද අධිපතිය. යුක්තිගරුකය. අයුක්ති සහගත පුද්ගලයන්ට ජය අත්පත්කර නොදයි.



දියෝනුසොස් සෙව්ස්ට දාව මිහිමත කුමරියකට දාව උපත් බව සැලකේ. සශී‍්‍රකත්වයට, මද්‍රපානයට බහුඵලත්වයට අධිපතිය. රූමත්ය. තරුණය. බැතිමත් ස්තී‍්‍රන් රාශියක් වටකරගෙන ඊජිප්තුව සිරියාව හා භාරතයේ ගංගා නිම්නය තෙක් ගමන් කරමින් ස්වකීය දේවත්වය එහි වැසියන්ට පිළිගන්නට සැලසූ බව කියැවේ. කි‍්‍රෂ්ණ යනු දියෝනිසොස් යැයි මතවාද ඉදිරිපත්ව තිබේ. දියෝනිසොස් කාව්‍ය ගීත ආදියට අධිපතිය. ගීී‍්‍රක නාට්‍ය කලාව දියෝනිසස් වන්දනයේ ප‍්‍රතිඵලයකි. හිරක්ලීස් දේවත්වයෙන් පුදන ලද ගී‍්‍රක වීරයෙකි. ඔහුගේ කතාවන් වික‍්‍රමාන්විත කි‍්‍රයා රැුසකින් සමන්විතය. ඔහු අපට භාරතීය රාම රජුගේ වික‍්‍රමාන්විතයන් සිහිකැදවයි.



පොසෙයිඩොන් ගී‍්‍රක  සමුද්‍ර දේවතාවාය. ජලයට අධිපතිය. ඔහුගේ සොහොයුරන් සෙවුස් හා පුලොව්ටෝන් ය. සිය පියා වූ ක්‍රොනෝස් ගෙන් ලෝකාධිපත්‍ය පැහැර ගන්නා මේ සොහොයුරන්ගෙන් සියුස් හට අහසද, ප්ලොවටෝන් හට පාතාලයද, පොසෙයිඩොන්ට සමුද්‍රයද අයත්විය.

සියුස් ගී‍්‍රකයින්ගේ ශ්‍රේෂ්ඨතම දෙවියා ලෙස සැලකයි.  ඔහුගේ ආයුධය වජ‍්‍රයයි. යුක්තියේත්, සත්‍යයේත් දේවතාවා ඔහුය. අහංකාරය, අයුක්තිය, අපරාධයන්හි යෙදන්නාට දඬුවම් දෙන්නේ සෙව්ස්ය. ඔහු සිය සොහොයුරියන් සමඟ මෙන්ම මනුලොව නොයෙක් ස්තී‍්‍රන් සමඟද කාමයේ හැසිරුනෙකි. සෙවුස් දෙවියාට සමාන රෝම දෙවියා ජුපිටර්ය. හෙතෙම ඉන්දීය වරුණ දෙවියන්ට සම බවක් දක්වයි. පෙරදිග මහාමේරු පර්වතය මෙන් ගී‍්‍රක දෙවියන් විසූයේ ඔලිිම්පස් කන්ද වාසය කොටගෙනය. මහාමේරුව ප‍්‍රවාදයක් යැයි සැලකිය නොහැකි වූ පුවතක් කැලණිය විශ්වවිද්‍යාලයේ  ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එම්. කේ. ජයසේන මහතා ගෙන එයි. බුදුරදුන් ජීවමානව සිටි සමයේ විසූ යැයි සැලකෙන මහා ඬේරියස් රජු සිය අගනුවර ලෙස තෝරා ගත්තේ පාර්සි පොලිස් නගරයයි. උස් භූමියක කන්දක් කපා කෘතිමව ඉදිකරගත් එම නගරය බෞද්ධ පතපොතේ සඳහන් වන්නේ මහාමේරුව වශයෙන් යැයි ඔහු සිය පර්යේෂණයන්හිදී දක්වයි.


ඬේරියස් රජු මුළු අධිරාජ්‍යයම භාරව තිස්තුන් දෙනෙකුගෙන් යුත් සභාවක් වූ බව සැලකේ. එය සුදම් සභාවයයි හඳුන්වා ඇත. පළමුවන ධර්මසංඝායනාව සඳහා රහතන් වහන්සේලා රැුස් කරවීම පිණිස මහා කාශ්‍යප හිමියන් වැඩියේ පාර්සි පොලිස් අගනගරයට බව කි‍්‍ර. ව. 640 දී ඉන්දියාවට පැමිණි හියුංසාං හිමි තම දේශාටන වාර්තාවල සඳහන් කර ඇත.

දෙවියන් ජීවමමානව වැඩ විසූ යැයි සැලකෙන ස්ථාන හා ප‍්‍රදේශ පූජනීයත්වයේ ලා සලකනු ලබයි. ඒවායේ හාස්කම් හෙවත් දේව බැල්ම තිබෙන බව විශ්වාසයයි. කෙසේ වෙතත් දෙවියන් යනු අධිභෞතික ශක්තීන් උරුම කරගත් පිරිසක් පමණක් නොවන බව බටහිර විද්වතුන් දක්වන මතයයි. විශේෂයෙන් දේව යනුවෙන් හැඳින්වූ ජන කොට්ඨාෂයක් මිහිමත විසූ බවට සාදක සොයාගෙන ඇත. ඔවුන් ධන ධාන්‍ය නිවාස මෙන්ම රාජ්‍යමය වශයෙන් සැප සම්පත් පිරිවරාගෙන විසූ ජනකොට්ඨාෂයකි. ධන බලය මෙන්ම යුධ බලයද ශාස්ත‍්‍ර හා කාර්මික ඥානයද ඔවුන් සතු වූ බවට අධ්‍යයනය කර ඇත.


පාර්සි නගරය පාරාදීසය හෙවත් පැරඩයිස් එනම් දෙව්ලොව ලෙස ව්‍යවහාරයට පත් වූ බව ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය එම් කේ ජයසේන මහතා සඳහන් කරයි. එහි වැසියන්ට මහත් ධන සම්භාරයක් රැුස් කරගැනීමටත් යටත් දේශවාසීන් කෙරෙහි අධිපතිකම් කිරීමටත් හැකියාව ලැබුණි. මේ නිසා පාර්සි වැසියන් දේව හෙවත් දේවයෝ ලෙස හඳුන්වන ලදැයි ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.

පුරාණ ලංකාවේ ආර්ය ජනකොටස් පිළිබඳව පර්යේෂණ කෘතියක් ඉදිරිපත් කළ ආචාර්ය සරත් අමුණුගම මහතා ද මේ පිළිබඳව පවසයි. ඉරාණය හෙවත් අයිරාණය යන්නෙහි අර්ථය ආර්යයන්ගේ රට යන්නය. එය පුරාණයේදී හඳුන්වන ලද්දේ පර්සියාව යන නමිනි. පර්සියානු වැසියන් ඉන්දියානු ආර්යයන් විසින් හඳුන්වන ලද්දේ දේව යන නමිනි. විල්හෙල්ම් ෙගෙගර් පඬිතුමා ද දේව යන වචනයෙහි නිශ්චිත අර්ථය රජ යනුවෙන් දක්වා ඇත.


දෙවියෝ මිහි මත විසූහයි ති‍්‍රපිටකයේ ඇතැම් කොටස් උපුටා දක්වමින් කරන අධ්‍යයනයන් ද රාශියකි. දෙවියන් උදෙසා ගෞරවාර්ථයත්, පූජනීයත්වයක්, බලාරෝපණයත් සිදු වූයේ එම විශ්වාසයන් හා පදනම්ව ගොඩනැගී ඇති ප‍්‍රවාදයන් ඇසුරේය. දෙවියන් කොහි සිටී දැයි නිශ්චිත නොවේ. නමුත් අසීමිත විශ්වාසයන් හා සබැඳුණ දෙවිවරුන් වෙසෙන්නෙන් නම් මිනිසා තුළමය.



සුභාෂිණී පෙරේරා


ජන ජීවිතය හා බැදුණු අංක විද්‍යාව



ජනශ‍්‍රැතියේ අක්මුල් සොයා යන විට සුභාසුබ සංකල්පයන් හමුවේ. එවායින් යහපත හා බැඳුණු සුභ යැයි සැලකෙන සංකල්පයන් බුදුගුණ හා මංගල ලක්ෂණ සමඟ සබැඳේ. අප ඒවා මඟුල් ලකුණු යැයි ද හඳුන්වමු. සුභ අසුබ යන්න අයහපත, විපත හා යහපත මුල් කරගනිමින් බල පවත්තවයි. අංකයට, ගණිතයට නැතහොත් සංඛ්‍යා වලට සුභාසුබ ලක්ෂණ ගැබ්කිරීම පැරැුන්නන්ගේ සිරිත විය. එහි කිසියම් විද්‍යාත්මක සත්‍යයක් පවතිනාවා ද යන්න නිශ්චිත නොවෙතත්, විශ්වාසය පදනම් කරගත් චාරිත‍්‍ර වාරිත‍්‍ර විධික‍්‍රමයන් ඒ ඇසුරේ ගොඩනැගී ඇත. ඔත්තේ සංඛ්‍යා පිළිබඳව ජන වහරේ එන ඇතැම් තොරතුරු අසුබයට නෑකම් කියයි. මළගෙවල් පිළිබඳ දැනුම් දීමට තිදෙනෙකු පමණක් එක්වයාම යහපත් නොවේ යැයි පැවසීම එවැන්නකි. අතීතයේ පමණක් නොව වර්තමානයේදී ද එවැනි විශ්වාසයන් පවතී. සුපිරි හෝටල් සංකීර්ණවල පවා 13 අංකය දරන කාමරයට කිසිවෙකු ඇතුලත් වීමට පි‍්‍රය නොකරන්නේ එබැවිනි.නිවසක ජනෙල් උලූහවු තැබීමේදී පවා ඔත්තේ සහ ඉරට්ටේ සංඛ්‍යා පිළිබඳව සැලකිලිමත් වෙයි. සංඛ්‍යා ඇසුරේ සැකසුණ සංකල්ප පිළිබඳ අධ්‍යයනයක නියැලීමට මට සිත්විය. ආගම හා අභිචාර ඇසුරේ ගොඩනැගුණු ඒවා විචිත‍්‍රය, අර්ථවත්ය. කුහුල වඩවන සුළුය.


        තුන්කල් යනුවෙන් හැඳින්වෙන්නේ අතීත, අනාගත සහ වර්තමාන කාලයයි. තුන්කල් ලොව දකින්නානම් අප මහා ගෞතම බුදුරජාණන් වහන්සේය. තුම්බිය නම් බුදුරදුන් වැඩසිටි සමයෙහි විශාලා මහනුවර ඇති වූ ව්‍යසනය ය. තුම්බියට රෝග බිය, දුර්භීක්ෂ බිය, ශසත‍්‍ර බිය අයත්ය. දහඅට සන්නියේ එන කතා පුවතට අනුව මහාකෝළ යක්ෂයා විශාලාවේ තුන්බිය පැතිරවීමට හේතු කාරකයයි. කෙසේ වෙතත් බුදුරජානන් වහන්සේ විසින් රතන සූත‍්‍රය දේශනා කිරීමට සලස්වා විශාලාවේ තුම් බිය දුරකර හරිනු ලැබූ බව එම පුවතෙහි මෙන්ම සූත‍්‍ර පිටකයේද සඳහන්ය. තුන්යම නම් ප‍්‍රථම, මධ්‍යම හා පශ්චිම යාමය යැයි ති‍්‍රපිටකයේ සඳහන්ය. යාග මඬලේදී සමයම් යනුවෙන් එය අර්ථ ගන්වයි. සැන්දෑ සමයම, අලූයම් සමයම, ඉරමුදුන් සමයම යනුවෙන් එය ති‍්‍රවිධාකාර වෙති. සමයම් යනු යකුන්ගේ ඇල්ම බැල්මට හසුවිය හැකි හෝරාවන්ය.


         තුන්රට යනු පුරාණයේ ලක්දිව බෙදී තිබුණ පාලන ප‍්‍රදේශයන්ය. රුහුණු රට, මායා රට හා පිහිටි රට එම ත‍්‍රිත්වයයි. තුන් සරණය නම් නිරන්තරයෙන් තුන් සිත පහදවා ඇදහිය යුතු මංගල ලකුණකි. එය තිසරණ සරණ යනුවෙන් ද හඳුන්වයි. බුදුසරණ, දම් සරණ හා සඟ සරණ තුන් සරණ යනුවෙන් හඳුන්වයි. තුන් සිත පිළිබඳ අසා තිබුණ මුත් බහුතරයක් නොහඳුනයි. තුන් සිත පතපොතෙහි හඳුන්වන්නේ යම් කි‍්‍රයාවක් ආරම්භ කිරීමට පෙර සිත, යම් කි‍්‍රයාවක් සිදුකරන අතරවාරයේ පවත්නා සිත, කි‍්‍රයාව අවසන් කළ විට පවතින සිත යනුවෙනි. තුන් සිත දැහැන්ගත වන්නේ සිත තැන්පත් කරගැනීමෙනි.


      චතුර් හෙවත් සතර අංකයද බෞද්ධ සාහිත්‍යයේදී බහුලව හමුවේ. සිව්බඹ විහරණ, සිව් වනක් පිරිස, සතර මහා භූතයෝ මෙන්ම උතුම් වූ චතුරාර්්‍යය සත්‍යද ඒ අතරින් කිහිපයකි. සතර යන සංඛාත්මක අගය ජනශ‍්‍රැතිය හා බැඳෙන්නේ ඊට ඉදුරාම වෙනස් ආකාරයකිනි. පුරාණ රාජාණ්ඩු පැවති කාලයේදී රජුගේ වීර වික‍්‍රමාන්විත බවත් සශ්‍රීක බවත් විදහා පෑවේ චතුරඬඟණී සේනාව මඟිනි. රජුට පෙර ගමන් යන මංගල දර්ශනයක් ලෙසින් එය සළකන ලදී. ඇත්, අස්, රිය හා පාබල සේනාව එනමින් හඳුන්වයි. කුරුඳු පොතු, එනසාල්, තමලූ හා නාමල් රේණු යන රසකාරක ද්‍රව්‍යයෝ හඳුන්වන ලද්දේ චතුර්ජාත යනුවෙනි. දෙවියන් බඹුන් ආදී පූජාකටයුතු පුද්ගලයන් සඳහා පමණක් පහත සඳහන් චතුර්ගණ්ධ පූජාවිධි වලදී යොදාගනු ලබයි. එනම් හඳුන්, කපුරු, කොකුම්, තුවරලා යනාදී සුගන්ධයෝය. නමුත් යාගයකදී යකුන් ආදී අමුනුෂ්‍යය සමූහයා පුදනු වස් යොදා ගන්නේ මීට වෙනස් සුවඳ වර්ගයන්ය. ඒවායේ සුභාර්ථයන්ට වඩා ගුප්ත බවක් එක් වෙයි.


        අංක අතර වඩාත් සුභ අංකයක් ලෙස අංක හත විශ්වාසයේ පවතී. ළදරුවෙකු උපන්විට හා ඔහු කෙමෙන් වැඩිවියට පත් වනවිට සත්මඟුල් උත්සවයන් පවත්වයි. තුන්මස උත්සව, පස්මස උත්සවය, හත්මස උත්සව, නම් තැබීම, ඉඳුල්කටගෑම, කන්විදීම, ඉසකේ කැපීම යනුවෙන් ඒවා ජනවහරේ එයි. ශාන්තිකර්මයන්හිදී නිරන්තරයෙන් හත සංඛ්‍යාවට මුල් තැනක් ලැබෙයි. හත්පද පෙළපාලිය උඩරට, පහතරට, සබරගමු සම්ප‍්‍රදායන්ගේ ශාන්තිකර්ම වලදී යම් යම් වෙනස්කම් සහිතව සිදුකරයි. හත පදය නැටීමේදී පොල් ගෙඩිය, බුලත අත, කොතළය, සළුව, දුම්මල, පොල්මල් ආදි මංගල වස්තු යොදාගනී. සත්මුතු පරම්පරාව යන්න ජනවහරේ නිරන්තරව භාවිතා වේ. මුත්තා, මී මුත්තා, නත්තා, පනත්තා කිත්තා, කිරිකිත්තා, කිරිකෑමුත්තා හත්මුතු පරම්පරාවයි. පරපුරකට යමක් උරුම වෙයිද එය හත්මුතු පරම්පරාවටම බුක්ති විඳිය හැකිය. කීර්තිය යසස ද එපරිදිය. පරපුරකට යමක් අහිමිවීමද ඒහා සම සමය. සප්ත රත්න යනු සුභ ප‍්‍රතිඵල ලබා දෙන්නා වූ උතුම් මංගල වස්තුවකි. ඇතැම් තැනක ඒවා නවරත්න යනුවෙන්ද හඳුන්වයි. ධාතුගර්භ ඉදිකිරීමේදී සප්ත රත්න ඒවායේ නිධන් වස්තු ලෙස තැම්පත් කරයි. වර්තමානයේදීද අලූතින් නිවසක් සෑදීමේදී සප්ත රත්න කැබලි මංජුසාවක බහා නිදන් කරනු ලැබේ. සප්ත රත්න නම් රන්, රිදී, වීදුරු, මුතු, මැණික්, වෙරළුමිණි හා පබළු යනාදියයි.


      අංක අට යන්නද සර්වසුභ අංකයක් ලෙස සළකයි. පසළොස්වක පොහොය කර්මයන්හිදී ගිහියෝ අට සිල් සමාදන් වෙති. නිර්වානගාමී මාර්ගයද අංග අටකින් යුක්තය. රාජ්‍යයකට අවශම අංග අටක් වෙයි. ඒවා අට අඟ ලෙස හඳුන්වයි. රාජ, අමාත්‍යය, මිත‍්‍ර, කෙෂඨ, ජනපද, දුගී, බල, පුරවැසි යනු ඒවායි. මේ අංගයන්ගෙන් එක් අංගයක් හෝ අඩු නම් එය සවිසත් රාජ්‍යයක් ලෙස නොසලකයි. අටකොන යනු අෂ්ට දිශාවන්ය. ඉඳුරු දිශාව, ගිනිකොණ, යම දිශාව, නිරිත, වරුණ, වයඹ, සොමි, ඉසාන යනු එම දිශා අටයි. ඒ ඒ දිශාවට අයත් දිශාවන් රක්නා දෙවිවරුද අට දෙනෙකි. ඔවුන් අටදිග්පාල යනුවෙන් හඳුන්වයි. ඒ ඒ දෙවියාට අයත් විමානයක්( වෘක්ෂයක්), වාහනයක්, ආයුධයක් ආදිය වෙයි. අට මඟුල් හෙවත් අෂ්ට මංගල වස්තු සුභ කටයුතු වලදී නිරතුරුව භාවිත කරයි. සිංහ, වෘෂභ, හස්ති, පුන්කළස, වාලවපන්න, ධවජ, ශංක, ප‍්‍රදීප අශ්ට මංගල වස්තු අතර වේ. අටමඟල යන්ත‍්‍රය ඇදීමේදී මේ සංකේත අඳිනු ලබයි.
        
පැරැුන්නන්ගේ විශ්වාසය වූයේ ලෝකය තැටියක් මෙන් පැතලි ආකාරයෙන් තිබූ බවයි. ලෝකය ගෝලාකාරයයි විශ්වාස නොකළ එසමයෙහි මහා විශාල ඇතුන් අට දෙනෙකු විසින් මහ පොළව උසුලාගෙන සිටින බව විශ්වාසය විය. එම ඇතුන් අට දිගැත් ලෙස හඳුන්වන ලදී. වේරාවත, පුණුඩරීක, වාමන, කුමුද, අකන්න, පුෂ්පදන්ත, සාමභෞම, සුපතීක යනුවෙන් එම ඇතුන් අට දෙනා හඳුන්වන ලදී. මහ පොළොව මත සිදුවන විවිධ විපර්යාසයන් කැළඹිලි, කම්පා ආදියට හේතුව නම් අසුරයන් විසින් මෙම ඇතුන් තිදෙනාට පමුණුවන විපත් යැයි එකළ සැලකිණි.

      අංකය පිළිබඳ විශ්වාසයන් පෙරදිගට පමණක් සීමා නොවේ.  බටහිර රටවලද තමා උපන් වර්ෂය, උපන් දිනය ආදී අංක හා බැඳුණු සුභ හා අසුබ පිළිබඳ විශ්වාසයන් පවතී. තමාට හිමි අංකය තුළින් එක් එක් පුද්ගලයාගේ අභ්‍යන්තර ගුණාංග හා ගතිලක්ෂණ විද්‍යාමාන වන බව විද්වත් මතයයි. ජය අංකය යනුවෙන්ද ව්‍යවහාරයට පැමිණෙන්නේ එයමය. ගුප්ත විද්‍යාත්මක ලක්ෂණ වල සත්‍යය අසත්‍යතාව පිළිබඳ වාද විවාදයන් නිරන්තරයෙන් පවතී. නවීන විද්‍යාව හමුවේ ඇතැම් ලක්ෂණ අභියෝගයට ලක් වුවද තවමත් බටහිර රටවල මේවා පිළිබඳ පර්යේෂණ සහ අධ්‍යයනය වල නිරතවන්නෝ බොහෝ වෙති.





සුභාෂිණී පෙරේරා